ඉස්ලාමීය නව වසර උදාවෙයි



"හිජ්රි 1440" මෙය ඉස්ලාමයේ පළමුවන මාසය වන මුහර්රම් මස 01 වන දිනයෙන් ආරම්භ වේ.

ඒ අනුව වර්තමාන ජාත්‍යාන්තර දින දර්ශනයට අනුව 2018 සැප්තැම්බර් මස 10 වන දින සවස ඉර බැසයැමත් සමඟ උදාවිය.

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ භාවිතා වන මෙම හිජ්රි වසර මුස්ලිම්වරුන්ගේ වක්තෘකරයාණන් වන මුහම්මද් නබි (සල්) තුමා සහ ඔහුගේ අනුගාමිකයන් මක්කා නගරයේ සිට මදීනා නගරයට සංක්‍රමණය කරන ලද ක්‍රිස්තු වර්ෂ 622 සිට ගණනය කිරීමට ආරම්භ කරන ලදි.

මෙම සංක්‍රමණය “හිජ්රත් ” ලෙස හඳුන්වනු ලබයි. මෙම හිජ්රි වර්ෂ ක්‍රමය ජූලියන් හෝ ග්‍රෙගරියානු සූර්ය දින දර්ශනය අනුව නොව ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනය අනුව ගණනය කරනු ලැබේ . මේ අනුව මෙම වර්ෂය ක්‍රිස්ත්‍ර වර්ෂ 1 හි ජනවාරි මාසයෙන් නොව, ක්‍රිස්තු වර්ෂ 622 දී මුහර්රම් මාසයේ පළමු වන දා සිට ආරම්භ විය.

මුහම්මද් නබි (සල්) තුමන්ගේ ජීවිතය තුළ සිදු වූ ඓතිහාසික ගමන “හිජ්රත්” යනුවෙන් හැඳින්වේ.එතුමන්ගේ 53 වැනි වියහි දී මෙය සිදුවිය. එතුමන් පරිශුද්ධවූ මක්කාවෙහි උපත ලද අතර, එතුමන්ට 40 වැනි වියහි දී ශාස්තෘ (නබි) පදවිය පිරිනැමිනි. එතැන් පටන් සමාජය යහපත් මගට යොමු කිරීම සඳහා සර්ව බලධාරි අල්ලාහ් දෙවියන්ට පමණක් යාඥා කර ඉස්ලාම් දහම අනූව ජීවත් වීම සඳහා සමාජය කැඳවූහ.

මෙම ඉස්ලාම් සංකල්පය එවකට මක්කාවෙහි ජීවත් වූ පුරවැසියන් ඉදිරියේ තැබීමත් සමග,ඊට පෙර මොහොත වන තෙක් ඔවුන් ඉදිරියෙහි ශ්‍රේෂ්ඨ පුද්ගලයකු වශයෙන් විරුදාවලිය ලැබූ මුහම්මද් නබි තුමාට හතුරුකම් කරන්නට පටන් ගත්තෝය, විවිධ තාඩන පීඩන සිදුකරමින් අභූත චෝදනා එල්ල කළහ. එතුමන්ව පිළිගෙන ඉස්ලාම් අනූව ජීවත්වූවන්ට විවිධ කායික වද හිංසා පමුණුවීමටත් ඔවුන් ඝාතනය කිරීමටත් මොවුන් පසුබට නොවූහ. මෙම විරෝධතාවන් එන්න එන්න උග්‍රවීම නිසා නබි (සල්) තුමන්ගේ ජීවිතයටම අවදානම් තත්ත්වයක් මතුවීම නිසා “යත්රිබ් (වර්තමාන මදීනාව)” බලා වූ හිජ්රත් ගමනට අඩි තාලම දමන ලදී. ඒ අනූව මෙම ඓතිහාසික ගමන නබි (සල්) තුමන්ගේ 53 වැනි වියහිදී සිදුවිය.හිජ්රත් යන්න තේරුම "අතහැර යෑම" යන්න හැදින්වේ.

මුහර්රම් ඉස්ලාමීය දින දර්ශනය අනූව මුල්ම මාසය වන අතර ඉස්ලාමීය වසරේ අනෙකුත් මාසයන් වන්නේ

1 - මුහර්රම්
2 - සෆර්
3 - රබීයුල් - අව්වල්
4 - රබීඋස් සානි
5 - ජමාදුල් අව්වල්
6 - ජමාදුස් සානි
7 - රජබ්
8 - ෂඃබාන්
9 - රමළාන්
10 - ෂව්වාල්
11 - දුල්කඃදා
12 - දුල්හිජ්ජා

මැදපෙරදිග අරාබි රටවල් ඇතුළු මුස්ලිම් ජනතාව ජිවත්වන රටවල්වල මෙම නව වසර උදාව පිළිගනිමින් සමාජ මාධ්‍ය මගින්  සුබ පැතුම් එක් කරනු ලබයි.

මේ උදා වී ඇත්තේ “1440 හිජ්රි” ඉස්ලාමිය නව වසරය.


RECOMMEND POSTS