ඇමෙරිකන් රාජ්‍ය ලේකම් එනවා



ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ලබන 25 වැනිදා සිට 30 වැනිදා දක්වා දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේ සංචාරයක නිරත වනු ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ එලැඹෙන 28 වැනිදාය. එහිදි හෙතෙම මෙරට බලධාරීන් සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා පවත්වන අතර මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට නියමිතය.

ශක්තිමත් සහ ස්වෛරී ශ්‍රී ලංකාවක් සඳහා ඇමෙරිකාවේ සහාය සහ නිදහස් සහ විවෘත ඉන්දු-ශාන්තිකර කලාපයක් සඳහා දෙරටේ පොදු අරමුණ ඉදිරියට ගෙන යෑම යන කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මෙම සංචාරයේදී අවධානය යොමු කරනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මෙම සංචාරයේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාව, මාලදිවයින සහ ඉන්දුනීසියාව යන රටවල ද සංචාරය කිරීමට නියමිතය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් මාර්ක් ටී. එස්පර්, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සමඟ ඉන්දියාවට යන අතර එහිදි ඉන්දීය ආරක්ෂක සහ විදේශ අමාත්‍යවරුන් සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

ලෝකයේ සහ ඉන්දු-ශාන්තිකර කලාපයේ ස්ථාරවත්වය සහ සෞභාග්‍යය උදෙසා තිබෙන සහයෝගීතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරීමට නියමිත බව ද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව රාජ්‍ය ලේකම්වරයා මාලදිවයිනේ ද ඉන් අනතුරුව ඉන්දුනීසියාවේ ද සංචාරය කිරීමට නියමිත ය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මීට පෙර පසුගිය වසරේ ජූනි මස 27 වැනිදා කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබිණි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ජපානයේ පැවැති ජී 20 සමුළුවට සහභාගී වීමට සිදු වූ හෙයින් එම සංචාරය අවලංගු කෙරුණි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ මස මුලදී ජපානයට පැමිණි අතර එහිදි ඉන්දීය, ජපාන සහ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරුන් හමු වී සාකච්ඡා පැවැත්වීය. එහිදි චීනයට එරෙහිව මිත්‍ර සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් අවධානය යොමු ව තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරියකු මෙරට සංචාරයක නිරත වන්නේ 2015 වසරෙන් පසුව ය.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී. වෙල්ස් දෙදින නිල සංචාරයක් සඳහා ජනවාරි13 වැනිදා මෙරටට පැමිණියාය. එදිනම රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝ ද දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි අතර චීන විදේශ අමාත්‍ය වැන්ග් යී  ද මෙරට සංචාරයක නිරත විය.

මේ අතර චීනයේ හිටපු විදේශ අමාත්‍යවරයකු සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික යං ජියේෂිගේ ප්‍රමුඛත්වයෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසක් ඉකුත් දා මෙරට සංචාරයක නිරත විය.

හර්ෂණ තුෂාර සිල්වා
ඡායාරූපය රොයිටර්

RECOMMEND POSTS