14 ක් බේරාගෙන වැටුප් දීලා



මැදපෙරදිග රටවල ගෘහ සේවිකා රැකියාවලට ගොස් වසර ගණන් තිස්සේ වැටුප් නොලබා වහල සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 14 දෙනකු ඉකුත් වසර දෙකහමාරක කාලය තුළ බේරාගෙන ඔවුන්ට හිමි හිඟ වැටුප් ලෙස රුපියල් දෙකෝටි අසූ හය ලක්ෂ අසූ හතර දහසකට ආසන්න මුදල් ද ලබාදීමට විදේශ රැකියා අමාත්‍යංශය සමත් වූ බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළාය.

මොවුන් අතරින් 11 දෙනෙකු  සවුදි අරාබියේ සේවය සඳහා ගොස් ගෙහිමියන් විසින් සිර කරගෙන වැඩ ගත් අය වන අතර බොහෝ දෙනෙක් වසර 10 සිට 15 දක්වා කාලයන් තුළ සේවය කළ අය වෙති.

අනෙක් තිදෙනා ගෙන් එක් අයෙක් ඕමානයේ ද දෙදෙනෙක් කුවේට් රාජ්‍යයේ ද සේවය කළ අය බව දඅමාත්‍යවරිය කීවාය.

ව්‍යාජ ලියකියවිලි පෙන්වා 14 හැවිරිදි වියේ දී විදේශ ගත වී නිවෙස් හිමියා විසින් නිවාස අඩස්සියේ තබා ගෙන සේවය ගත් තරුනියක් ද පසුගියදා මෙරරට ගෙන්වා ගත් බවත් ඇයට හිමි හිඟ වැටුප් ලබා දුන් බවත් අතුකෝරල මහත්මිය පැවැසුවාය.

මෙම කාන්තාවන් බේරාගෙන ගෙන්වා ගැනීමට පෙර ඔවුන් වෙනුවෙන් හිඟ වැටුප් ලබා ගැනීම සඳහා එම රටවල දී අධිකරණමය ක්‍රියාමාර්ග ගත් බවත් එහි දී තානාපති කාර්යාලවල නිලධාරින් විශිෂ්ඨ මෙහෙයක් ඉටු කළ බවත් අතුකෝරල මහත්මිය තව දුරටත් ප්‍රකාශ කලාය.

විනීතා එම් ගමගේ
 

 


RECOMMEND POSTS