13 දෙනා නිදහස් කරගන්නවා



සංචාරක වීසා මත ඊශ්‍රායලයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණු ශ්‍රී ලාංකිකයන් 13 දෙනා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට විදේශ රැකියා අමාත්‍යාංශය මැදිහත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මේ සතිය තුළ මොවුන් හමුවීමට යාමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙසට විදේශ රැකියා අමාත්‍ය ගාමීණී ලොකුගේ මහතා  එරට ශ්‍රී ලංකා  තානාපති කාර්යාලයට දැනුම්දී ඇති බවද සඳහන් වේ.

නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට පැමිණි ලාංකිකයින්  13 දෙනෙකු අධිකරණ විභාගයකින් තොරව එරට සිරගත කර ඇති අතර ,ඔවුන්ට සති දෙකක කාලයකට අයිතිවාසිකම් අහිමි කර ඇති බව ඊශ්‍රායලයේ පළවන “ ද ජෙරුසලම් පෝස්ට් ” ් වෙබ් අඩවිය විසින් ඉකුත් සතියේ වාර්තා කර තිබිණි.

මෙලෙස සිරගත කොට ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ ලංකාවේ සිදුවු දේශපාලන වෙනසින් පසු මරණීය තර්ජන ඇති බව පවසමින් සංචාරක වීසා මත ඊශ්‍රායලය වෙත පලා ගොස් ඇති ලාංකිකයින් පිරිසකි.

අදාළ පුද්ගලයින්ට ටෙල්අවිව් නුවර බෙන්-ගුරියන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී  ප්‍රශ්න කිරීම සඳහා පරිවර්තකයෙකු නොමැතිවීම හේතුවෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි එක් සාමාජිකයෙකු සමඟ 11 දෙනා සහ කාන්තාවන් දෙදෙනා ඊශ්‍රායලයේ රැඳවුම් ම්‍යස්ථානයක් වෙත ගෙන ගොස් ඇති බවට එරට පළවන ජෙරුසලම් පෝස්ට් පුවත්පත් වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් දැක්විණි.

මේ අතර සතියක් පුරා අදාළ සැකරුවන්ගේ මූලික අයිතිවාසිකම් අහිමිකරමින් ඔවුන්ට දුරකථන ඇමතුම් ලබා ගැනීමට හෝ ඔවුන්ට ඇඳුම් මාරු කළ ගැනීමට පවා නොහැකි වූ බව අදාළ පුද්ගලයින්  සඳහන් කර තිබිණි.ඔවුන්ට ඖෂධ ලබාගැනීමට අවසර නොලැබුණ අතර වකුගඩු රෝගය හා දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙකු රෝග උත්සන්න වීම හේතුවෙන් වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කර ඇති බවට වාර්තා වෙයි.

අදාළ සැකකරුවන් සිරගත කිරීමට ගෙන යන අවස්ථාවේදී එක් පුද්ගලයෙක් විසින් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වෙත සිය ජංගම දුරකථනයෙන් පණිවුඩයක් ලබා දී ඇති අතර අදාළ එම ලාංකිකයා විසින් මෙම 13දෙනා නීතිඥයෙකු වෙත යොමු කර ඇත.පසුව අදාළ නීතිඥවරයා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව, ඔවුන් එරට ආරක්ෂක අංශවෙත පවසතා ඇත්තේ  පසුගිය ඔක්තෝබර් මාසයේ සිදුවු දේශපාලන වෙනසින් පසු මරණීය තර්ජන හේතුවෙන් ඊශ්‍රායලය වෙත පැමිණි බවයි.

නමුත් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඊශ්‍රායලය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත පවසා ඇත්තේ රැකියාවක් ලබා ගැනීම පිණිස  ඊශ්‍රායලට පැමිණි බවයි.කෙසේ වෙතත් සිරගත කර සිටින ලාංකිකයින් පිරිස තමන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීම හා සිරගත කිරීම සම්බන්ධයෙන් එරට දිසා අධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමටද කටයුතු කර ඇත.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS