ශ්‍රී ලංකාව කටයුතු කරන අයුරු පහදයි



සංක්‍රාන්තික යුක්ති ක්‍රියාදාමයේදී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ දේශීය නෛතික රාමුවට අනුව කටයුතු කරන ජීනිවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අවධාරණය කිරීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉකුත් දා පැවැසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේ දී ඉකුත් දා (26) එම කරුණු සඳහන් කළේය.

එහිදි අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා මෙසේ ද කීය.

“ මානව හිමිකම් මහකොමාසරිස් කාර්යාලය එම කවුන්සිලයට ඉදිරිපත් කළූ වාර්තාවට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාවටත් අවස්ථාව ලැබුණා. 2017 සිට මානව හිමිකම් පිළිබඳ සහතික වෙමින් ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය පිළිබඳව මා කරුණු දැක්වූවා. මහකොමසාරිස්වරියගේ 40/23 වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ඇති වී ඇති දියුණුව ප්‍රශංසාවට ලක් කෙරුණා වගේම සාකච්ඡාවට එක්වූ සාමාජික රටවල් විසින්ද ප්‍රශංසාවට ලක් කෙරුණා.  සංහිඳියාව උදා කර ගැනීමට ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීමත්, සත්‍යය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති නොවීමේ සහතික සම්බන්ධයෙන් ගෙන ඇති පියවරත් මා යළිත් ප්‍රකාශ කළා.

මානව හිමිකම් කවුන්සිලය අමතා මා කළ කතාවේදීත්, ඉන් අනතුරුව අප මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැෂෙලෙට් මහත්මිය සමඟ පැවැත්වූ හමුවකදීත්, මන්නාරමේ සමූහ මිනීවළ සම්බන්ධයෙන් හා  උතුරු හා නැගෙනහිර පළාත්වල ආරක්ෂක හමුදා රඳවාගෙන ඇති ඉඩම් සම්බන්ධයෙන් ඇගේ වාර්තාවේ සඳහන් ඇතැම් වැරදි තොරතුරු සම්බන්ධයෙන් අපගේ කනස්සල්ල මා පළ කළා. බිම් මට්ටමේ ඇති කරුණු තහවුරු කරගැනීමෙහිලා අදාළ දේශීය ආයතනත්, ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන ආයතනත් සමඟ සමීප සහසම්බන්ධතාවක් පැවැත්වීමේ වැදගත්කම මා ඇයට තරයේ කියා සිටියා.

ජාත්‍යන්තර ප්‍රජාවේ වග කිවයුතු සාමාජිකයකු වශයෙන්, සංහිඳියාව උදාකර ගැනීමටත් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමටත් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව දැනටමත් ලබාදී ඇති තිර ප්‍රතිඥාව ඉටු කරන බව යළි තහවුරු කරන අතරම,  මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාල වාර්තාවට අප ලබාදුන් ප්‍රතිචාරය මඟිනුත්, මේ වසරේ යෝජනා සම්මතයට සම අනුග්‍රාහකත්වය දැක්වීම මඟිනුත්, අපගේ සහසම්බන්ධතාවේ ගතිකයන් යළි ක්‍රමාංකණය කරන්නටත් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාදාම මගේ කතාවේ සඳහන් පරාමිතීන්වලින් මාර්ගෝපදේශනය ලබනු ඇති බව හා එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ දේශීය නෛතික රාමුවේ තිර ලෙස පිහිටා සිටිනු ඇති බව අවධාරණය කරන්නටත් අපට පුළුවන් වුණා.

30/1 යෝජනා සම්මතයේ අඩංගු ප්‍රතිඥා ක්‍රියාත්මක කිරීම සඳහා 2021 මාර්තු මාසය තෙක් වසර දෙකක කාල දිගුවක් ලබා දෙන 40/එල්.1 යෝජනා සම්මතයට මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය ලබා දුන්නා. එම 40/එල්.1 යෝජනා සම්මතයට ශ්‍රී ලංකාව පූර්ණ ලෙස හිමිකම් කීමේ වැදගත්කම මා මගේ කතාවේදී අවධාරණය කළා.  මීට පෙර දෙවතාවක් කළාක් මෙන් මේ වසරේද යෝජනා සම්මතයට ශ්‍රි ලංකාව සම අනුග්‍රහය දැක්වීමේදී එය සතු වූ චේතනාව මා පැහැදිලි කර දුන්නා. අප විසින් තරණය කළ යුතු දේශපාලනමය, නෛතික හා සමාජයීය බාධක සම්බන්ධයෙන් අප තුළ මුළාවක් නෑ. මෙම ගැටලුව ක්‍රමික අවසානයක් කරා රැගෙන ඒම සහතිකවීම පිණිස, කලින් කියන ලද පරාමිතීන් තුළ අප අඛණ්ඩව ඉදිරියට ගමන් කරන බව මේ වසරේ යෝජනා සම්මතයට සම අනුග්‍රහය දැක්වීම මඟින් ශ්‍රී ලංකාව සියලු කොටස්කරුවන්ටත්, පෘථුල ශ්‍රී ලාංකික සමාජයටත්, රටෙන් පිට සිටින අපගේ සංවාදකයන්ටත් සහතික වෙනවා. 

“සියල්ලන් සමඟ මිතුරුබව; කිසිවකු කෙරෙහි නැත සතුරුබව” යන අපගේ විදේශ ප්‍රතිපත්තියේ මුඛ්‍ය ශික්ෂාව මත තිර ලෙස පදනම් වෙමින්, ඉහත කී අභිලාෂයන් පෙරදිග සිට අපරදිගට විහිදෙන සබඳතාවල ගෝලීය ජාලයක් මඟිනුත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වීය ආයතන සමඟ පවත්වන සහසම්බන්ධතාව මඟිනුත් අභිවර්ධනය කරන්නට ඉකුත් වසර කිහිපය තිස්සේ මගේ අමාත්‍යාංශය ඉතා හොඳින් සිතා මතා ප්‍රයත්න දරා තිබෙනවා.

අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ අභිලාෂයන් විදේශයන්හි ප්‍රවර්ධනය කොට ආරක්ෂා කරන්නටත්, ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂය, ස්වාධිපත්‍යය සහ අනන්‍යතාව ආරක්ෂා කරන්නටත් ස්වාධීන, ඍජු සහ නොබැඳි ආකාරයකින් අමාත්‍යාංශය අඛණ්ඩවම සිය විදේශ සම්බන්ධතා පවත්වනු ඇති . මේ මූලික මෙන්ම අතිශය වැදගත් මූලිකාංග රටේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ වැඩිතර සෞභාග්‍යය කරා කටයුතු කිරීමේ අරමුණට අනුපූරකයක් සපයනවා”. 


RECOMMEND POSTS

RELATED POSTS