ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිට්මස් පරීක්ෂාවක්



පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ගතවෙමින් තිබෙන මෙම කාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කෙරෙන ලිට්මස් පරීක්ෂාවක් යැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවැසීය.

පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසුව ගතවෙමින් තිබෙන මෙම කාලය ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කරමින් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිපදිමින් ත්‍රස්තවාදය පරාජයට පත් කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂාවක් යැයි ද ආර්යසිංහ මහතා කීවේය.

දෙදිනක් මුළුල්ලේ පැවැති කොළඹ ආරක්ෂක සමුළුව අවසානයේදී එහි ශුභාශිංසන දේශනය කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා එම කරුණු සඳහන් කළේය.

‘සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කළ කොළඹ ආරක්ෂක සමුළුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
“පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසුව මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානව හිමිකම් පිළිපදිමින් ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය ශ්‍රී ලංකාව හමුවේ තිබෙනවා.

එමෙන්ම පසුගිය වසර කිහිපයේදී ශක්තිමත් කළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තවදුරටත් ශක්තිමත් කරමින් ඒවායේ අඩුපාඩු සකසාගෙන ඉදිරියට යෑමේ අභියෝගය ද රට හමුවේ තිබෙනවා. මේ කාලවකවානුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කෙරෙන ලිට්මස් පරීක්ෂාවක්.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට ආරක්ෂා කරගැනීමේ සහ තවදුරටත් ප්‍රහාර එල්ල වීම වළක්වාගැනීමේ දැඩි අවශ්‍යතාව ඇතිවුණා. එමෙන්ම රටේ ආරක්ෂක තත්ත්වය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලාධාකාරිය නැවත වරක් තහවුරු කිරීමේ අවශ්‍යතාව පැන නැගුණා. රටට සහ රටේ ජනතාවට එල්ල වූ එම මිලේච්ඡ ප්‍රහාරයෙන් සිදුව හානිය සහ පාඩුව සම්බන්ධයෙන් කනගාටු වන අතරම නැවත ගොඩනැගීමේ සහ යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ද අපට සිදුවුණා.

සමාජ, දේශපාලන, ආර්ථික වශයෙන්ම මෙන්ම රටේ ජාත්‍යන්තර කීර්තිනාමයට සිදුවන හානිය අඩු කරමින් ඉක්මනින් යථා තත්ත්වයට පත්වෙමින් ආරක්ෂාව තහවුරු කිරීමට සිදුවුණා. ශ්‍රී ලාංකිකයන්ගේ සහයෝගය නොමැතිව ආරක්ෂාව තහවුරු කිරීම පහසු වුණේ නැහැ. ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රටේ ත්‍රස්තවාදීන් රටේ කීර්තිනාමයට හානි කරන්නට උත්සාහ කළත් සමාජය තුළ තිබෙන විශ්වාසය ඊට හරස්වුණා. රටේ මහජනතාවත් නීතිය බලාත්මක කරන අධිකාරීන් අතරත් දැඩි සම්බන්ධයක් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ මහජනතාව සමාජයට වෙන හානි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමට ඉදිරියට පැමිණියා. එය සුළුවෙන් තකන්න බැහැ. එය කිසිසේත් ඇපයට ගන්න බැහැ. ඒ සබඳතාව අපි ඉදිරියටත් පවත්වාගෙන යන්න ඕනේ. ඒ වගේම යහපත් අයුරින් පත්වාගෙන යා යුතු අතරම හොඳ මැදිහත්වීමක් කරන්න ඕනේ. ඒ වගේම එය හොඳට පෝෂණය කරන්න ඕනේ.”

කොළඹ ආරක්ෂක සමුළුව අගෝස්තු මස 29 සහ 30 යන දිනවලදී පැවැත්විණි.  


RECOMMEND POSTS