ලාංකික ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම අඛණ්ඩව



මැදපෙරදිග රටවල් ඇතුළු රටවල් කිහිපයක සිරවී සිටින ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම, කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින්  අඛණ්ඩව සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී.

ඒ අනුව විදේශයන් හී නීත්‍යානුකූලව රැඳී සිටීමේ අවස්ථාව හෝ සේවය කිරීමේ අවස්ථාව අහිමි වූ තැනැත්තන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බවත් , ඊට අමතරව ⁣ලිඛිත සාක්ෂි සහිත වෛද්‍යමය හදිසි තත්වයන් ද විශේෂ අවස්ථා ලෙස සලකා එවැනි පිරිස්ද නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය කටයුතු කරන බවද විදේශ සබදතා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කොරෝනා වසංගත තත්ත්වය නිසා සිර වී සිටින ලාංකික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ දී ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ කවරකුට ද යන්න අදාල තානාපති කාර්යාල ප්‍රධානියා විසින් එම කාර්යාලයන්හි සේවය කරනු ලබන විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිළධාරීන් සමග සාකච්ඡා කොට සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම ක්‍රියා පටිපාටීන් දැඩි ලෙස පිළිපදින්නැයිද විදේශ අමාත්‍යවරයා විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා  දූත මණ්ඩලවලට උපදෙස් ලබා දී ඇත.

එම පිරිස් ගෙන්වා ගැනිමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  විදේශ සබඳතා  අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මෙම තීරණ ගත් බවද හෙතෙම  මේ බව කියා සිටියේය.

මෑතකදී කුවේට් රාජ්‍යයෙන් නැවත මෙරටට පැමිණි කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ, සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත සැලකිය යුතු ලෙස දැනට එල්ල වී තිබෙන පීඩනය පිළිබඳව සැලකිල්ලට ගනිමින්, කොවිඩ් කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කර මෙම කාර්යය සිදු කෙරෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටී.

ඉදිරියේදී , සියලුම ගුවන් ගමන් වලට පෙර පීසීආර් (PCR) පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව විමර්ශනය කරන බව අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.

නැවත ශ්‍රී ලංකාවට පැමිණිම සඳහා පුද්ගලයින් 42,000කට වැඩි පිරිසක් ලියාපදිංචි වී ඇති අතර ඉන් 21,000ක් පමණ මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයින් බව විදේශ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනනෙේය.

දැනට ඉහල අවදානමකට ලක්ව සිටින මාලදිවයිනේ සිටින පිරිස් ගෙන්වා ගැනිම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇතැයි හෙතෙම වැඩිදුරටත් කීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදේශ සංක්‍රමණික ප්‍රජාවන්ට වියළි සලාක සහ ඖෂධ ලබා දීමෙන් සහ ඔවුන් රැඳී සිටින ස්ථානයන්හි  හදිසි වෛද්‍ය තත්වයන් සඳහා අඛණ්ඩව සහාය ලබා දෙන අතරම, නැවත මෙරටට පැමිණීමට අපේක්ෂා කරන තැනැත්තන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසනු ඇතැයි අමාත්‍යවරයා කියා සිටියේය.

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් සරත් අබේගුණවර්ධන මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) සභාපති කමල් රත්වත්ත මහතා සහ අමාත්‍යාංශ දෙකෙහි හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අදාළ නිලධාරීන් පිරිසක් ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග මෙම සාකච්ඡාවට එක්වූහ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS