භාණ්ඩාගාරයෙන් අමතර ප්‍රතිපාදන ඉල්ලයි



කොරෝනා වසංගත තත්ත්වය මධ්‍යයේ, එතෙර සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ඉහළ යමින් පවතින අවශ්‍යතා සපුරාලීම සඳහා වියළි සලාක බෙදා හැරීමේ කටයුතු සදහා අමතර ප්‍රතිපාදන ලබාදෙන ලෙස විදේශ අමාත්‍යාංශය භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත.

මෙය එම වසංගතය හේතුවෙන්  ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට නොහැකි සංක්‍රමණිකයින් මුහුණ දෙන ක්ෂණික දුෂ්කරතා මඟහරවා ගැනීමට උපකාරී වීමක් වන හෙයින් එම පිරිස් වෙත වියලි ආහාර සලාක සැපයීම වෙනුවෙන් මෙලෙස අමතර ප්‍රතිපාදන ඉල්ලූ බව විදේශ අමාත්‍යාංශය කියාපසිටී.

ඉකුත් 15 වැනිදා විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, මෙම කලාපය අධීක්‍ෂණය කරන ජ්‍යෙෂ්ඨනිලධාරීන් සහ මැද පෙරදිග පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හා කොන්සල් කාර්යාලවල තානාපතිවරුන් සමඟ පැවති වීඩියෝ සම්මන්ත්‍රණයක දී මේ පිළිබදව විශේෂ අවධානය යොමු කරන ලදී.

මෙම සාකච්ඡාවට බහරේන්, කුවේට්, ජෝර්දානය, ලෙබනනය, ඕමානය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉරානය සහ ඊශ්‍රායලය යන රටවල දූත මණ්ඩල ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඒකකවල ප්‍රධානීන් සහභාගී විය.

මෙම සංක්‍රමණික සේවකයින්  සම්බන්ධ ප්‍රධාන ගැටළු වන ඉහළ යමින් පවතින විරැකියාව, කොන්ත්‍රාත්තු අහිමිවීම, වැඩ බලපත්‍ර දීර්ඝ නොකිරීම සහ තාවකාලික නිදහස් රැකියා නතර කිරීම වැනි සිදුවීම්වල ප‍්‍රතිවිපාකයන්ට විසඳුම් සෙවීම සඳහා මෙහි දී විශේෂ අවධානයක් යොමු කරන ලද අතර, මෙම සමහර ශ්‍රමික කොටස්වලට ඔවුන්ගේ මූලික ජීවන තත්වයන් පවත්වා ගැනීමටත්, හැකි විටෙක දී ඔවුන්ගේ නිවෙස්වල සිටින පවුල්වලට සහාය වීමටත්, හදිසි ආධාර අවශ්‍ය වී ඇතැයි විදේශ අමාත්‍යාංශය පෙන්වා ාද්.

දැනටමත් පොදු සමාවක් ප්‍රකාශයට පත් කොට, ශ්‍රමිකයන්ට ඉවත්ව යාමට අවසර දී ඇති රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික හා දේශපාලනික වශයෙන් නියැලීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, ලියාපදිංචි නොවූ සේවකයින්ගේ තත්වය නීතිගත කිරීමේ දී හැකි විසඳුම් ලබා ගැනීමට සහ කොන්ත්‍රාත් ගිවිසුම් උල්ලංඝනය කිරීම, රැකියා අහිමිවීම සහ නෛතික තත්ත්වය හේතුවෙන් පැන නැගී ඇති විවිධ ආරවුල් සඳහා සාමකාමී විසඳුම් සෙවීමට, පළාත් පාලන ආයතන හා අදාළ කම්කරු අමාත්‍යාංශ සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙස මෙම අමාත්‍යාංශය මැද පෙරදිග පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට උපදෙස් දුන්නේය.

එසේම කෙරෝනා ආසාදනය වී ඇතැයි සැකකරනු ලැබීම හෝ එසේ ආසාදනය වීම හේතුවෙන් වෛද්‍ය ආධාර ඉල්ලා සිටින ශ්‍රී ලාංකිකයන්, අදාළ වෛද්‍ය පහසුකම් සපයන දේශීය රෝහල් වෙත යොමු කිරීමට ක්ෂණික පියවර ගනිමින් සිටින බව ද, ඉන්පසු තානාපති කාර්යාල නිලධාරීන් විසින් ඒ පිළිබඳව අඛණ්ඩව අධීක්ෂණය කරනු ලබන බව ද මෙම දූත මණ්ඩල අමාත්‍යාංශයට වාර්තා කළේය.

විදෙස්ගත ලාංකිකයින්ට පිහිට වීම සදහා අමාත්‍යාංශය මගින් ආරම්භ කල කන්ටෑක්ට් ශ්‍රී ලංකා නැමැති  සජීවි අන්තර්ජාල පිවිසුමෙන් විවිධ ඉල්ලීම් කරමින් ලියාපදිංචි  වී ඇති 59,419 දෙනාගෙන් 21,575 දෙනෙක් මැද පෙරදිග කලාපයේ පදිංචි අය යැයිද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

මෙම අදාළ ස්ථානවල සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගේ දෛනික අවශ්‍යතා හා විමසීම් සඳහා ක්‍රියාත්මක වීම පිණිස, පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන ඇමතුම් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත්, තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය අඛණ්ඩව රාජකාරියේ යෙදෙන ලෙසත්, විදේශ අමාත්‍යාංශය සියලු දූත මණ්ඩලවලට උපදෙස් දී තිබේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS