කොරෝනාට වඩා ප‍්‍රශ්න තිබෙනවා



කොරෝනා වයිරසය ප්‍රබල තර්ජනයක් වුවත් ඊට වඩා බරපතළ ප්‍රශ්න ලොව තිබෙන බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා කොළඹදී පැවැසීය.

මිට මොළව පහර දෙන්නාක් මෙන් බටහිර මාධ්‍ය දිගින් දිගටම කොරෝනා වයිරසය පිළිබඳව පුවත් වාර්තා කරන බව ද ආචාර්ය පාලිත කොහොන මහතා එහිදි කීවේය.
කොරෝනා වයිරසය චීනයෙන් පැමිණෙන අමුතු හා භයානක දෙයක් යන ආකල්පය ශ්‍රී ලංකාව තුළ ද නිර්මාණ වී ඇතැයි හෙතෙම එහිදි කීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඊශ්‍රායලයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජනාධිපති නිතීඥ සරත් විජේසිංහ සහ ඔහුගේ පුත් අමිල විජේසිංහ යන මහත්වරුන් විසින් සංස්කරණය කළ ‘2020 වසර සඳහා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති දැක්ම (ෆොරින් පොලිසි පර්ස්පෙක්ටිව්ස් ෆෝ ශ්‍රී ලංකා ඉන් 2020)’ යනුවෙන් කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ආචාර්ය පාලිත කොහොන මහතා ඒ බව පැවැසීය.

කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේදී ඉකුත් දා (10) පස්වරුවේ මෙම උත්සවය පැවැත්විණි.

එහිදි අදහස් දැක්වූ ආචාර්ය පාලිත කොහොන මහතා මෙසේ ද කීය.

“මේ දිනවල පුවත්පත්වල සිරස්තල පළවෙන්නේ කොරෝනා වයිරසය ගැන. මාධ්‍යවල වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ කොරෝනා වයිරසයට. දහසකට වැඩි පිරිසක් වයිරසය නිසා මියගොස් තිබෙනවා. දහස් ගණනකට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා. කොරෝනා වයිරසයෙන් මියගිය වැඩිදෙනා, අතිබහුතරය චීන ජාතිකයන්. වයස්ගත හා දුර්වල පිරිස් ඉක්මනින් මිය යනවා.

මෙය අපි සරලව ගත යුත්තක් නෙමෙයි. මෙම කොරෝනා තර්ජනය සුළුවෙන් තැකිය හැකි දෙයක් නෙමෙයි. මේ ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෑ. මාධ්‍ය දිගින් දිගටම මේ සම්බන්ධයෙන් පුවත් වාර්තා කරනවා.

මිට මොළව පහර දෙන්නාක් මෙන් බටහිර මාධ්‍ය දිගින් දිගටම කොරෝනා වයිරසය පිළිබඳව පුවත් වාර්තා කරනවා.

කොරෝනා වයිරසය චීනයෙන් පැමිණෙන අමුතු හා භයානක දෙයක් යන ආකල්පය ශ්‍රී ලංකාව තුළ ද නිර්මාණ වී තිබෙනවා.

මම අද උදේ ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඇට්ලන්ටාවේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවක් කියෙව්වා. මේ මධ්‍යස්ථානය ඇමෙරිකාවේ රජයට අයත් එකක්.

කොච්චර පිරිසකට සෙම්ප්‍රතිශ්‍යාව (කොමොන් ෆ්ලූ) හැඳුණ ද කියලා ඔබ දන්නවාද ? කොච්චර පිරිසක් ඉන් මිය ගියා කියලද ඔබ හිතන්නේ ? ඇමෙරිකාවේ විතරක් ? ඇමෙරිකාවේ විතරක් සෙම්ප්‍රතිශ්‍යාව  හැඳුණ පිරිස මිලියන දෙකකට වැඩියි. ඇමෙරිකාවේ විතරක් මියගිය ගණන 8,000කට වැඩියි. මේ පහුගිය ශීත ඍතුවේ පමණක් සංඛ්‍යා දත්ත.

අපි කවුරුවත් මේ ගැන වචනයක් කියනවද ? අපි කෑගහනව ද ? අපි ඇමෙරිකාවට යන එක නවත්තලා ද ? ඇමෙරිකාවට ගුවන් යානා යන එක නැවතිලා ද ? ඇමෙරිකාවෙන් ගුවන් යානා එන එක නැවැතිලා ද ?

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පළවන පුවත්වල ජාතිවාදී හා වර්ගවාදී බවක් තියෙනවා කියලා මට හිතෙනවා.

චීනයේ කොරෝනා වයිරසය ගැන කතා කරද්දි අපි පරෙස්සම් වෙන්න. එය සුළුවෙන් තකන්න බැහැ. ඒ වගේම ඒ ගැන ගොඩක් හිතන්න ඕනෑ.ඒ වගේම ලෝකයේ තවත් තැන්වල මීට වඩා ප්‍රශ්න තියෙනවා. එහෙත් අපි ඒවාට ඒ තරම් අවධානයක් දෙන්නේ නැහැ”.

හර්ෂණ තුෂාර සිල්වා
ඡායාරූප ළහිරු හර්ෂණ

RECOMMEND POSTS