ඇතැම් රටවල දෙබිඩි චේතනා



විදේශවල සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කරගැනීම සඳහා ඇතැම් රටවල් නීති සම්පාදනය කරන මොහොතක ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන ඒමෙන් පෙනී යන්නේ ඇතැම් රටවල දෙබිඩි චේතනා සහ කුහක ස්වභාවයක් පමණක් යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අමතමින් විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 23 පස්වරුවේ පැවැසීය.

ශ්‍රී ලංකාවට එරෙහිව සනාථ නොකළ යෝජනාවක් ගෙන ඒමේදී ආධිපත්‍යවාදී බලවේග මෙරටට එරෙහිව සහයෝගයෙන් කටයුතු කළ බවත් එය ශ්‍රී ලංකාව සමඟ සිටින මිත්‍ර ජාතීන්ගේ සහයෝගයෙන් පරාජයට පත් කළ බවත් ගුණවර්ධන මහතා කීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ඉකුත් 22 ආරම්භ වූ අතර අන්තර්ජාලය ඔස්සේ සමුළුව අමතමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම කරුණු සඳහන් කළේය.

හුදු දේශපාලන අභිප්‍රාය මත තවදුරටත් යෝජනා මෙම සභාවට ඉදිරිපත් කරන ලද බවත් කාර්ය පටිපාටික නුසුදුසුකම් සහ එවැනි ක්‍රියාදාම එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවලට බලපාන භයානක පූර්වාදර්ශයක් සපයන්නේ කෙසේ ද යන්න ශ්‍රී ලංකාව එම සෑම අවස්ථාවකදීම පෙන්වාදුන් බවත් විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

 එහිදි තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ ද කීය.

‘‘අද මා ඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම වාර්තාව පිළිබඳ පෙර නොවූ විරූ අන්දමේ ප්‍රචාරක ව්‍යාපාරයක් ද සිදුකර තිබේ.

පවත්නා යාන්ත්‍රණ අඛණ්ඩව පවත්වාගෙන යාම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම, තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම, ඉඩම් ආපසු ලබා දීමේ ප්‍රගතිය, බිම් බෝම්බ ඉවත් කිරීම සහ නව ජීවනෝපාය මාර්ග නිර්මාණය කිරීම වැනි ශ්‍රී ලංකාව විසින් සිදු කර ඇති බැඳීම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව අපි 2020 දෙසැම්බර් මාසයේ දී මෙන්ම 2021 ජනවාරි මාසයේ දී ද මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත සවිස්තරාත්මක යාවත්කාලීන කිරීම් ලබා දී ඇත.

පසුගිය වසර පුරා ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතයේ බලපෑම් සමඟ පොරබදමින් සිටිය දී පවා මෙම පියවර ගෙන ඇත. මෙම අභියෝග මධ්‍යයේ වුව ද අපි 2020 අගෝස්තු මාසයේ දී නිදහස් හා සාධාරණ මහ මැතිවරණයක් පවත්වා, ආසියාවේ පැරණිතම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහිත රටක තුනෙන් දෙකක බහුතරයක් සහිතව නව රජයක් තෝරා පත්කර ගත්තෙමු. මානව හිමිකම් කවුන්සිලය හා එහි යාන්ත්‍රණ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කොටස් මෙම මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මත පදනම්ව, රටට විශේෂිත වූ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කිරීම කනගාටුවට කරුණකි.

ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මෙම වාර්තාව අසාධාරණ ලෙස සිය විෂයය පථය පුළුල් කර ඇති අතර, ඕනෑම ස්වයං-ගෞරවයක් සහිත ස්වෛරී රටක පවතින මූලික ගෘහස්ථ කාරණා සහ පාලන කරුණු රාශියක් ඇතුළත් කර ඇත. මෙම කවුන්සිලයේ හදිසි අවධානයට ලක්විය යුතු තත්ත්වයක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ද, නැතහොත් මෙම උද්ඝෝෂණය අත්‍යවශ්‍යයෙන්ම මෙම කවුන්සිලය පිහිටුවා ඇති සාරධර්ම හා මූලධර්මවලට පටහැනි දේශපාලන පියවරක්ද යන්න පිළිබඳව ඔවුන්ගේම තීන්දුවක් ගැනීමට මම මෙම කවුන්සිලයේ සාමාජිකයින්ට සහ නිරීක්ෂකයන්ට භාර කරමි.

විදේශවල සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනා දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණි. ත්‍රස්තවාදයට එරෙහි අරගලයේ යෙදී සිටින රටවල් අතර සැලකිය යුතුඅන්දමින් චිත්ත ධෛර්යය නැතිවීම සඳහා මෙය හේතු විය හැක. මෙම කවුන්සිලය සිය පරිමාණ සමව තබා ගත යුතුය. කටකතා, ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග හෝ එක් කෝණයකින් එන සැක සහිත මූලාශ්‍රයක් අනුගමනය නොකොට එහි මාර්ගෝපදේශ මූලධර්ම පිළිපැදිය යුතුය.

මෙම කවුන්සිලය සමඟ පවත්නා අපගේ අඛණ්ඩ සහයෝගය සහ සම්බන්ධතාවය නොතකා, නිරන්තරයෙන් ව්‍යාප්ත වන බාහිරව මෙහෙයවනු ලබන උපදෙස් කෙරෙහි අවධාරණය කිරීම මඟින් අභියෝග රැසකට මුහුණ දිය හැකිය. මෙම කවුන්සිලය දන්නා පරිදි, මෙම කාලය පසුගිය වසර සියය තුළ දී එළැඹි මුළු ලෝකයම සඳහා තීරණාත්මක කාලයකි. කොවිඩ්-19වසංගතය මැඩ පැවැත්වීමට හා බැට කෑ ආර්ථික පුනර්ජීවනය කිරීමට අප ගන්නා උත්සාහයන් තුළ දී අප එක්සත් විය යුතුය. මෙම කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ අපගේ කුසලතා හා අපගේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය හා සහයෝගීතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව එන ඕනෑම යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම තුළින් අපට සහාය වන ලෙසයි.

මෙම කවුන්සිලයේ සම්පත් හා කාලය අනවශ්‍ය ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කොතරම් දුරට උපයෝගී කර ගෙන ඇත්දැයි යන්න, ගෝලීය දකුණේ ස්වෛරී රාජ්‍ය වෙත අධෛර්යමත් කරවන පණිවිඩයක් රැගෙන යන බවට අපි විශ්වාස කරමු. පෙර නොවූ විරූ වසංගතයක් හමුවේ කාලීන අවශ්‍යතාවය වන්නේ, මෙම කවුන්සිලය තුළ පවතින බෙදීම්වලින් පැන නගින ද්වේශය හා සැරපරුෂ බවට වඩා සහයෝගීතාවයකි. ඉහත දක්වා ඇති තත්ත්ව සැලකිල්ලට ගනිමින්, මෙම යෝජනාව සභාව විසින් ප්‍රතික්ෂේප කොට,එය අවසානයක් කරා ගෙන එන ලෙස අපි ඉල්ලා සිටිමු. බුදුරජාණන් වහන්සේගේ වචන උපුටා දක්වමින් මම අවසන් කරමි “සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.”

‘කොවිඩ්-19’ වසංගත හේතුවෙන් මෙවර සැසිවාරය අන්තර්ජාලය සහ විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයක් ඒ අයුරින් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.


RECOMMEND POSTS