අනාරක්ෂිත රටවල් ගොන්නට ශ්‍රී ලංකාව



නව කොරෝනා වයිරසය හේතුවෙන් සංචාරයට අනාරක්ෂිත රටවල් ගොන්නට ශ්‍රී ලංකාව ද ඇතුළත් කිරීමට බි‍්‍රතාන්‍ය හා සිංගප්පූරුව යන රටවල් පියවර ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් පැවසෙයි.

ලොව පුරා පවතින මෙම වසංගත ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාව සිය වැසියන් සඳහා සංචාරයට අනාරක්ෂිත බවට සිංගප්පූරුව ඊයේ සිට ලැයිස්තුගත කර ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

නව කොරෝනා වයිරසය හේතුවෙන් සංචාරයට අනාරක්ෂිත රටවල් ඇතුළත් ලැයිස්තුවක් සැකසීමට  බි‍්‍රතාන්‍ය  විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉකුත් 04 වැනිදා පියවර ගත් අතර ඊට ශ්‍රී ලංකාව ඇතුළත් වී තිබිණි.
මේ අතර යුරෝපා සංගමයට අයත් ස්විට්සර්ලන්තය, ප‍්‍රංශය, ඉතාලිය, ජර්මනිය ඇතුළු රටවල් 27 ක විදෙස් සංචාරකයින් සඳහා පැවති සීමාවන් ඉවත් කරමින්,  රටවල් කිහිපයක සංචාරකයින් සඳහා විවෘත කිරීමට සැකසූ ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතුළත් කරගන්නා ලෙස බෙල්ජියමේ බ‍්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

යුරෝපා සංගමය හෙවත් ෂෙන්ගන් කලාපය විසින් සංචාරක සීමාවන් ඉවත් කරමින් ,  ශ්‍රී ලංකාව ඇතුළත් නොවන රටවල් 15 ට අඩු ලැයිස්තුවක් සඳහා ඉකුත් 01 වැනිදා  සිට ක‍්‍රියාත්මකවන පරිදි සිය බාහිර දේශසීමා නැවත විවෘත කිරීමට යුරෝපා සංගමය තීරණය කළ අතර මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද ඇතුළත් කිරීම සඳහා බ‍්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සක‍්‍රීයව ඉල්ලීම් කරමින් සිටින බවද  එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කළ එම ඉල්ලීම සම්බන්ධයෙන් යුරෝපා කොමිසම දන්වා ඇත්තේ  ගුවන්තොටුපලවල් විවෘත නොකළ හෝ යුරෝපා සංගම් කලාපයෙන් පැමිණෙන අමුත්තන් භාරනොගත් රටවල් පිළිබඳව යුරෝපා සංගමය තවමත් සලකා බලා නොමැති බවය.

රටවල පවතින වසංගත රෝග තත්ත්වය, සංචාරය අතරතුර දී වසංගතය මැඩපැවැත්වීමේ ක‍්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සහ එම රට යුරෝපා සංගම් රටවල් සඳහා සිය සංචාරක සීමාවන් ඉවත් කර තිබේද නැද්ද යන කරුණුවල ප‍්‍රගතිය මත පදනම්ව, මෙම ලැයිස්තුව ක‍්‍රම ක‍්‍රමයෙන් පුළුල් කරන බව යුරෝපා කොමිසම බ‍්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත වැඩිදුරටත් දන්වා ඇත.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඞ්-19‘ ගෝලීය වසංගතය හේතුවෙන් යුරෝපා සංගමයට අයත් රටවල් සිය දේශසීමා වසා දැමුවේය.නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය වීමත් සමඟ යුරෝපා රටවල් ඉකුත් මැයි මාසයේ සිට වයිරසය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කළ අතර දේශසීමා විවෘත කිරීමටද පියවර ගත්තේ ය.

රටවල් 27කින් සමන්විත යුරෝපා සංගමය ඉකුත් 01 වැනිදා සංචාරක සහ ව්‍යාපාර කටයුතු ඇතුළු අත්‍යවශ්‍ය නොවන සංචාර සඳහා ගමන් කළ හැකි රටවල් 14ක්  ලැයිස්තුවක් ප‍්‍රකාශයට පත් කළේය.

ඇල්ජීරියාව, ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව, ජෝර්ජියාව, ජපානය, මොන්ටිනීග්රෝ් , මොරොක්කෝ , නවසීලන්තය , රුවන්ඩාව , සර්බියාව, දකුණු කොරියාව, තායිලන්තය , ටියුනීසියාව සහ උරුගුවේ යන රටවල් වල සංචාරකයින් සඳහා යුරෝපා සංගමයට අයත් රටවල් 27 සංචාරයක කළ හැක.

අනිවාර්ය නිරෝධායන ක‍්‍රියාවලියට අයත් නොවන රටවල් කිහිපයක ලැයිස්තුවක්  බි‍්‍රතාන්‍යට පසුගිය සතියේදී ප‍්‍රසිද්ධියට පත්කළ අතර ශ්‍රී ලංකාව ඊටද ඇතුළත් නොවීය. ඒ අනුව නිදහස් කරන ලද රටවල සිට බි‍්‍රතාන්‍යයට පැමිණෙන සංචාරකයන් අනිවාර්ය නිරෝධායන ක‍්‍රියාවලියට යටත් නොවන බව බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ කාර්යාලය සඳහන් කළේය.

බි‍්‍රතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ කාර්යාලය ඉකුත්දා (4) යාවත්කාලීන කිරීම් කළ අතර ගෝලීය සංචාරක උපදෙස් මාලාවක් ද නිකුත් කළේය. බි‍්‍රතාන්‍ය වැසියන්ට සංචාරයට සුදුසු සෞඛ්‍ය අවදානමක් නොමැති රටවල් ලැයිස්තුවක් එම කාර්යාලය විසින් ප‍්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබිණි.

යුරෝපයේ, ඇමෙරිකානු කලාපයේ, ආසියා ශාන්තිකර කලාපයේ, අප‍්‍රිකානු සහ ඇන්ටාක්ටිකා කලාපයේ රටවල් ඊට අයත් විය. ඕස්ටේ‍්‍රලියාව, දකුණු අප‍්‍රිකාව, මැලේසියාව, සිංගප්පූරුව, ප‍්‍රංශය , ග‍්‍රීසිය, ඉතාලිය සහ ජර්මනිය යන රටවල් බි‍්‍රතාන්‍ය  වැසියන්ට සංචාරයට ආරක්ෂිත රටවල් ගොන්නට ඇතුළත්ව ඇත.

( තිළිණි ද සිල්වා සහ හර්ෂණ තුෂාර සිල්වා )


RECOMMEND POSTS