‘ෆැන්ටෑස්ටික් බීස්ට්ස් 2’ එනවා



‘ෆැන්ටෑස්ටික් බීස්ට්ස් ඇන්ඞ් වෙයා ටු ෆයින්ඞ් දෙම්’ හැරී පොටර්ගේ මායා ලෝකයට සම්බන්ධ, හැරී පොටර් ඉපදීමට පෙර, හොඳ සහ නරක මායාකරුවන්ගේ වික්‍රමයයි. ‘ෆැන්ටෑස්ටික් බීස්ට්ස්’ හැරී පොටර් නිර්මාතෘවරිය වන ජේ.කේ. රෝලිංගේ නවකතා පෙළකි.

‘ෆැන්ටෑස්ටික් බීස්ට්ස් ඇන්ඞ් වෙයා ටු ෆයින්ඞ් දෙම්’ එහි පළමු කොටස වූ අතර, ඒ ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටය 2016 දී ලොකු කුඩා කා අතරේත් අතිශය ජනප්‍රිය විය. ආදායම් වාර්තා බිඳ හෙළීමට පවා සමත් විය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මායාකරු නූට් ස්කමැන්ඩර් ය.

නූට්, මායා ලෝකයේ දකින්න ලැබෙන් හරි අපූරු අමුතු මැජික් සතුන්ට ආදරය කරන ඔවුන් එක් රැස් කරමින් රැකවරණය දෙන අවංක හිත හොඳ චරිතයකි. ඔහුගේ මිතුරන් මෙන්ම සගයන් ද වන්නේ ඇමෙරිකන් ජාතික මායාකාරියක වන ටීනා ගෝල්ඞ්ස්ටයින් සහ සාමාන්‍ය නිව්යෝක් වැසියකු වන ජේකොබ් ය. නූට් ට මේ දෙපළ හමුවන්නේ ඇමෙරිකන් සංචාරයේදීය.

‘ෆැන්ටෑස්ටික් බීස්ට්ස්’ කතා මාලාවේ දෙවැන්න ‘ෆැන්ටෑස්ටික් බීස්ට්ස්: ද ක්‍රයිම්ස් ඔස් ග්‍රින්ඩල්වෝල්ඞ්’ ය. නපුරු මායාකරු ග්‍රින්ඩල්වෝල්ඞ් හඳුන්වා දීම සිදුවූයේ ‘ෆැන්ටෑස්ටික් බීස්ට්ස් ඇන්ඞ් වෙයා ටු ෆයින්ඞ් දෙම්’ චිත්‍රපටය අවසන් වෙද්දීය. ග්‍රින්ඩල්වෝල්ඞ්ගේ චරිතයට පණ පොවන්නේ ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු ජොනී ඩෙප් ය.

ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු ජූඞ් ලෝ මෙම චිත්‍රපටයට සම්බන්ධ වී සිටී. ඒ, තරුණ ඇල්බස් ඩම්බල්ඩෝර් ලෙසිනි. හැරී පොටර් ලෝලීන්ට ඇල්බස් ඩම්බල්ඩෝර් අමුත්තකු නොවේ. ඇල්බස් ඩම්බල්ඩෝර් යනු හැරී පොටර්ගේ මායා විද්‍යාලයේ විදුහල්පතිවරයාය. නූට්, ග්‍රින්ඩල්වෝල්ඞ්ට එරෙහිව නැගී සිටින්නේ ඩම්බල්ඩෝර්ගේ උපදෙස් මතය.

සුපුරුදු පරිදි එඩී රෙඞ්මයින් නූට් ලෙසත්, කැතරීන් වෝටර්ස්ටන් ටීනා ලෙසත්, ඩෑන් ෆොග්ලර් ජේකොබ් ලෙසත් චරිත නිරූපණයෙන් එක් වී සිටිති.

පළමු ‘ෆැන්ටෑස්ටික් බීස්ට්ස්’ චිත්‍රපටය සේම, මෙය ද ඬේවිඞ් යේට්ස්ගේ අධ්‍යක්ෂණයකි. තවත් ‘ෆැන්ටෑස්ටික් බීස්ට්ස්’ චිත්‍රපට තුනක් ඉදිරි වසරවලදී නිර්මාණය වීමට නියමිත අතර, ඒවා ද ඬේවිඞ් යේට්ස් විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිතය.


RECOMMEND POSTS