‘සාහෝ’ අගොස්තු 30 වැනිදා එනවා



කවුරුත් පුලපුලා බලා සිටින ප්‍රභාස් සහ ශ්‍රද්ධා කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘සාහෝ’ චිත්‍රපටය අගෝස්තු 30 වැනිදා සිට තිරගත කිරීම් ආරම්භ කෙරෙනු ඇත. ප්‍රභාස් රසික හදවත් දිනා ගත්තේ ‘බාහුබලී’ චිත්‍රපටයෙනි.

චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ මහා මංකොල්ලයක් සිදුවී එහි පසුපස සිටින අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට තනිවම සටනක් දෙන වෙස්වලාගත් නීති නිලධාරියෙකු වටාය. ප්‍රභාස් එම නිලධාරියාගේ චරිතයට පණ පොවයි. චිත්‍රපටයේ එක් නපුරකු නොව මහා පරිමාණයේ නපුරෝ ගොඩකි. නීලි නිතීන් මුඛේෂ්, ජැකී ෂෙරොෆ්, මන්දිරා බේදි, චංකි පාණ්ඬේ සහ අර්ජුන් විජේ මෙම නපුරන්ගේ චරිතවලට පණ පොවයි.

ප්‍රභාස්ගේ පෙම්වතිය වන්නේ අම්රීතා නාරී (ශ්‍රද්ධා කපූර්) අපරාධ  අංශ පොලිස් නිලධාරිනියකි. දෙදෙනාගේ ආදර කතාව මැදින්, ඇඟ කිලිපොලා යන ත්‍රසය සහ ක්‍රියාදාම පිරි, සාහෝ පැය දෙකක් සහ මිනිත්තු 30 ක් දිග චිත්‍රපටයක් යැයි බොලිවුඞ් පුවත් සේවා පෙන්වා දෙයි.

‘සාහෝ’ චිත්‍රපටය ගැන කාගෙත් උනන්දුවක් ඇතිවී තිබෙන්නේ, හේතු ගණනාවක් නිසාය. ප්‍රභාස් ජනප්‍රිය සුපිරි තරුවක් බවට පත් වූයේ බාහුබලී චිත්‍රපට හරහාය. 2017 දී ‘බාහුබලී ද කොන්ක්ලූෂන්’ අවසන් වීමෙන් පසු, ප්‍රභාස් රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය වන්නේ ‘සාහෝ’ ය. එපමණක් නොව, බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම ආදරණීය නිළියක යන ශ්‍රද්ධා කපූර්ගේ පළමු තෙලිගු චිත්‍රපටය වන්නේ ‘සාහෝ’ ය. ක්‍රියාදාර පිරි මෙම චිත්‍රපටය සුජීත්ගේ අධ්‍යක්ෂණයකි.

එන්.ඩී.ටීවී.


RECOMMEND POSTS