‘ස්ත්‍රී 2’ එනවා



බොලිවුඞ් රසික රසිකාවියන්ට ශ්‍රද්ධා කපූර් සහ රාජ්කුමාර් රාඕ ප්‍රධාන චරිත නිරූපණය කළ දිනේෂ් වයිජාන්ගේ ප්‍රහසනය පිරි හොල්මන් චිත්‍රපටය ‘ස්ත්‍රී’ අමතක වෙන්න විදියක් නැහැ.

මහා පරිමාණයේ බොලිවුඞ් චිත්‍රපටයක් නොවුණත්, ‘ස්ත්‍රී’ චිත්‍රපටය ජනප්‍රිය වූවා පමණක් නොව, තිරගත වී පළමු සතිය අවසන් වෙද්දී ඉන්දීට රුපියල් කෝටි 31 ඉපැයීමට සමත් විය. ‘ස්ත්‍රී’ චිත්‍රපටය ඉන්දියාවේ තිරගත වීම ඇරැඹුවේ පසුගිය අගෝස්තුවේ දීය. එය ඉපැයූ මුළු මුදල ඉන්දීය රුපියල් කෝටි 180 කි.

‘ස්ත්‍රී’ චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟ එහි දෙවැන්නක් නිර්මාණය වන බවත් එය ලබන වසර එනම් 2019 වසරේ අවසානයේ දී තිරගත වීමට කටයුතු සූදානම් කරන බවත් අධ්‍යක්ෂ දිනේෂ් වයිජාන් පවසා ඇත.

චිත්‍රපටයේ දෙවැනි කොටසක් ඇති බව අනාවරණය වූයේ ස්ත්‍රී චිත්‍රපටය අවසානයේදී දෙවැනි කොටසක් සඳහා අපූරු ප්‍රවේශයක් ලබා දීමට අධ්‍යක්ෂවරයා කටයුතු කළ නිසාය.

‘ස්ත්‍රී’ චිත්‍රපටයට පාදක වන්නේ 1990 දශකයේ බෙංගලූරු (කලින් බෙල්ගලෝර්) නගරයේ ගැවසුණැයි පැවැසුණු ස්ත්‍රී භූතාත්මකය කටකතා පාදක කර ගනිමිනි. මේ භූතාත්මය සම්බන්ධ කතාව හැඳින්වෙන්නේ ‘නාලේ බා’ (අද එපා හෙට) යන්නෙනි.

කතාවට අනුව, ස්ත්‍රී  භූතාත්මය රෑට නගරයේ සැරිසරමින් නිවෙස්වලට දොරට තට්ටු කරයි. දොර අරින කෙනා භූතාත්මය විසින් පැහැර ගෙන යනු ලැබේ.

මේ නිසා නගරවැසියෝ ‘ස්ත්‍රී අද  එන්න එපා හෙට එන්න’ යනුවෙන් නිවෙස්වල සටහනක් තබන අතර භූතාත්මය යළි පසුදින පැමිණෙයි. යළි යළිත් එකම දේ දිගටම සිදුවෙයි.

මෙම කතාව ස්ත්‍රී චිත්‍රපටයට පාදක වෙයි. චිත්‍රපටය අවසානයේ දී ‘ස්ත්‍රී’ භූතාත්මය පරාජය කිරීමට විකී (රාජ්කුමාර් රාඕ) ඇතුළු මිතුරන් පිරිස සමත් වෙති. ඒ, නමක් සඳහන් නොවන තරුණියගේ උදව්වෙනි. ශ්‍රද්ධා කපූර් රඟ දක්වන්නේ එම තරුණියගේ චරිතයයි.

චිත්‍රපටය අවසන් වෙද්දී, එම තරුණිය ද තරුණියක් නොවන බව නරඹන්නන්ට වැටහෙයි. චිත්‍රපටයේ අවසානයේ නැගෙන ප්‍රශ්න සියල්ලටම ‘ස්ත්‍රී 2’ චිත්‍රපටයෙන් පිළිතුරු ලැබෙනු ඇතැයි දිනේෂ් වයිජාන් පැහැදිලි කර ඇත.

ශ්‍රද්ධා කපූර් සහ රාජ්කුමාර් රාඕ ඔවුන්ගේ චරිත සඳහා යළි චිත්‍රපටයට එක්වන අතර අලුත් චරිත කිහිපයක් හඳුන්වා දීම ද සිදුවනු ඇති බව අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් කියා සිටී.

(ඉන්දීය පුවත් සේවා)

 


RECOMMEND POSTS