‘බ්ලැක් පැන්තර්’ වික්‍රමය



‘බ්ලැක් පැන්තර්’ චිත්‍රපටය හෙට (16) ලොව පුරා තිරගත වෙයි. මාධ්‍යවේදීන් සහ සිනමා විචාරකයන් වෙනුවෙන් චිත්‍රපටයේ විශේෂ දර්ශන කිහිපයක් පැවැත්වුණු අතර, චිත්‍රපටය බොහෝ විචාරකයන්ගේ පැසැසුමට ලක් වී ඇත.

මාවල් චිත්‍රකතා වීරයකු ලෙස ‘බ්ලැක් පැන්තර්’ගේ චරිතය පළමුවෙන්ම රසික හදවත් දිනා ගත්තේ 2016 වසරේ තිරගත වුණු ‘කැප්ටන් ඇමෙරිකා: ද සිවිල් වෝර්’ චිත්‍රපටයෙනි.  බ්ලැක් පැන්තර් වීරයා වන්නේ වකණ්ඩා නමැති අප්‍රිකානු රාජ්‍යයේ තරුණ රජු ටිචාලාය.

මාවල් චිත්‍රකතාවල හමුවන වකණ්ඩා යනු ප්‍රබන්ධ රටකි. චිත්‍රකතාවලට අනුවත් නවතම බ්ලැක් පැන්තර් චිත්‍රපටයට අනුවත් වකණ්ඩා අති නවීන තාක්ෂණයෙන් පිරුණු රාජ්‍යයකි. එය අනාගතයේ සුපිරි නගරයක් වැනිය. වකණ්ඩා වැසියෝ තාක්ෂණය අතින් පරතෙරට ගොස් සිටිති. කෙසේ නමුත් එය ඔවුන් ලොවෙන් වසං කරන්නේ වකණ්ඩා රාජ්‍යය තුන්වැනි ලෝකයේ දිළිඳු රටක් බව මවාපාමිණි.

වකණ්ඩා රජු ටිචාලා, බ්ලැක් පැන්තර් ලෙස වික්‍රම පාන්නේ අයුක්තිය සහ අසාධාරණයට එරෙහිවය. ඒ, අපූරු ඇඳුමකින් සැරැසෙමිණි. ‘බ්ලැක් පැන්තර්’ චිත්‍රපටය ඇරැඹෙන්නේ ‘කැප්ටන් ඇමෙරිකා: ද සිවිල් වෝර්’ චිත්‍රපටයෙන් පසු සිදුවන සිදුවීම් පෙළක් ද සමඟිනි. කිරුළ දරන ටිචාලාට, කිල්මොන්ගර් නමැති නපුරා සහ ඔහුට පක්ෂපාතී වකණ්ඩා වැසියන්ගෙන් අභියෝග එල්ල වෙයි. කිල්මොන්ගර්, නපුරු බ්ලැක් පැන්තර්වරයෙකි.

රට සිවිල් යුද්ධයකට යෑමට ඉඩ නොදී කිල්මොන්ගර් සහ ඔහුට සගයින්ට එරෙහි සටන් වැදීමට ටිචාලාට අකමැත්තෙන් වුවත්, සී.අයි.ඒ. ඒජන්ත එවරෙට් කේ. රොස්ගේ ද සහාය ලබා ගැනීමට සිදුවෙයි. ටිචාලාට වකණ්ඩා රාජ්‍යයේ සාමය ස්ථාපිත කිරීමට, ඔහුට හිතවත් රාජකීය හමුදාවේ සෙබළියන්ගේ ද සහාය හිමිවෙයි.

සුපුරුදු පරිදි බ්ලැක් පැන්තර් සහ ටිචාලා ලෙස චරිත නිරූපණය කරන්නේ චැඞ්වික් බෝස්මාන් ය. ඔහුගේ ප්‍රතිවාදියා වන නපුරු බ්ලැක් පැන්තර් සහ කිල්මොන්ගර් ලෙස චරිත නිරූපණය කරන්නේ මයිකල් බී ජෝර්ඩෑන් ය. සී.අයි.ඒ. ඒජන්ත එවරෙට් කේ. රොස් ලෙස මාටින් ෆ්‍රීමන් චරිත නිරූපණය කරයි.

ලුප්ටියා නියොන්ගෝ, ඩානායි ගුරීරා, ඩැනියෙල් කලූයා, ඇන්ඩි සර්කිස්, ෆොරස්ට් විටෙකර් ආදී ජනප්‍රිය මෙන්ම සම්මානනීය නළු නිළියෝ චිත්‍රපටයට එක් වී සිටිති. ‘බ්ලැක් පැන්තර්’ චිත්‍රපටය රයන් කූග්ලර්ගේ අධ්‍යක්ෂණයකි.


RECOMMEND POSTS