‘බ්ලැක් පැන්තර්’ අප්‍රිකානුවන්ගේ වීරයෙක්



මාවල් චිත්‍රකතා වීරයකු වන ‘බ්ලැක් පැන්තර්’ මේ වනවිට ලොව පුරා තිරගත වෙයි. එය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමා ඇත. ඉදිරි සිවුදින තුළදී චිත්‍රපටය ඇමෙරිකන් ඩොලර් මිලයන 172 ත් 198 ත් අතර සීමාවට පැමිණෙනු ඇති බවට අනාවැකි පළ වී ඇත.

මාවල් ස්ටුඩියෝස් එළිදැක්වූ ‘බ්ලැක් පැන්තර්’ වික්‍රමය, ලොව සෙසු රටවලට වඩා අප්‍රිකානු රටවල සිනමාලෝලීන්ගේ ආදරයටත් පැසැසුමටත් ලක් වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

චිත්‍රපටයේ වීරයා ‘බ්ලැක් පැන්තර්’ යනු චිත්‍රකතා අතරට එක් වුණු පළමු අප්‍රිකානු සුපිරි වීරයාය. බ්ලැක් පැන්තර් චිත්‍රකතා නිර්මාණය වූයේ 60 දශකයේය. ‘බ්ලැක් පැන්තර්’ චිත්‍රපටයට එක් වී සිටින බොහෝ දෙනා කළු ජාතික අප්‍රිකානු සම්භවයක් ඇත්තන් වන අතර සුදු ජාතික නළු නිළියන් සිටින්නේ කිහිප දෙනෙකු පමණි. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා රයන් ක්ලූගර් ද කළු ජාතිකයෙකි.

බ්ලැක් පැන්තර්’ එසේත් නැතිනම් වකන්ඩාවේ ටිචාලා රජුගේ චරිතයට පණ පොවන්නේ, චැඞ්වික් බෝස්මාන්ය. චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ඨයා වන්නේ කිල්මොන්ගර්ය. ඔහුගේ චරිතයට පණ පොවන්නේ මයිකල් බී ජෝර්ඞ්න්ය.

බ්ලැක් පැන්තර් හෙවත් ටිචාලා රජුගේ රාජධානිය වන්නේ ‘වකන්ඩා’ රාජ්‍යයයි. මෙය මාවල් චිත්‍රකතා නිර්මාණකරුවන් විසින් මවනු ලැබූ රටක් වන අතර සැබෑ රටක් නොවෙයි. ‘වකන්ඩා’ රටේ අගනුවර, තාක්ෂණයෙන් පිරුණු අනාගත නගරයක් වැනිය. වකන්ඩා වැසියන්ට පියාඹන යානා පවා ඇත. එහෙත් ඔවුන් ඒ සියල්ල ලොවෙන් වසං කරමින්, ජීවත් වන්තේ තුන්වැනි ලෝකයේ දිළිඳු රටක් ලෙසිනි.

‘වකන්ඩා’ රාජ්‍යය ප්‍රබන්ධයක් වුවත්, එය තමන්ගේ යැයි හැඟීමක් ඇති කර ගැනීමටත්, තම වැසියන් ගැන ආඩම්බරයක් දේශානුරාගයක් ඇති කර ගැනීමටත්, බ්ලැක් පැන්තර් චිත්‍රපටය සමත් වී ඇති බව එය නැරැඹූ කෙන්යා සහ නයිජීරියා සිනමා ලෝලීහු පෙන්වා දෙති.

මීට පෙර මේ අයුරින් අප්‍රිකානු වැසියකු එනම් කළු සමක් ඇති වැසියකු සුපිරි වීරයකු ලෙස ප්‍රධාන චරිතයක් රඟපෑවේ නම්, ඒ, තවත් මාවල් වීරයකු වන ‘බ්ලේඞ්’ ය. බ්ලේඞ්ගේ වික්‍රම ඇසුරින් 1998 වසරේ සිට 2004 තෙක් කාලයේ චිත්‍රපට ත්‍රිත්වයක් නිර්මාණය විය. බ්ලේඞ් යනු වැම්පයරයන් දඩයම්කරන්නෙකි.

‘බ්ලේඞ් කල්ලෙක් තමයි. ඒත් එයා ඇමෙරිකානුවෙක්. එයා ඉන්නේ ඇමෙරිකාවේ. බ්ලැක් පැන්තර් සහ ඔහුගේ මිතුරන් මෙන්ම සතුරන් සිටින්නේ අප්‍රිකා රටකි. බොරු රටක් වුනත් එය අපට දැනෙන්නේ ඇත්ත රටක් විදියටයි. මේක අපේ චිත්‍රපටයක්. හොලිවුඩයෙන් අපට සිදුවුණු සාධාරණයක්. දැන් අපට ආඩම්බර වෙන්න හේතුවක් තියෙනවා’ යැයි කෙන්යානු සිනමාලෝලීහු කියති.

ඒ.එෆ්.පී ඇසුරිනි


RECOMMEND POSTS