‘ගේම් ඔෆ් ත්‍රෝං’ වෙනස් කරන්නැයි පෙත්සමක්



අතිශය ජනපි‍්‍රයට පත් ලොව වැඩිම පිරිසක් නරඹන බටහිර රූපවාහිනී ටෙලි කතාමාලාවක් වන ‘ගේම් ඔෆ් ත්‍රෝං’ වෙනස් කරන්නැයි ඉල්ලමින් ලොව පුරා රසික රසිකාවියන් එක් වී අත්සන් ලක්ෂ 5 ක් ඇතුළත් පෙත්සමක් ‘එච්.බී. ඕ.’ නාළිකාවට ලැබෙන්න සලස්වා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ගේම් ඔෆ් ත්‍රෝං කතා මාලාව නිෂ්පාදනය කරන්නේ සහ එය විකාශය කරන්නේ ‘එච්.බී. ඕ.’ නාළිකාවය. ගේම් ඔෆ් ත්‍රෝං කතාමාලාව ජෝර්ජ් ආර්ආර් මාටින්ගේ නවකතා පෙළක් ඇසුරින් රූපවාහිනියට නිර්මාණය කරන ලද්දකි.

මේ වනවිට ගේම් ඔෆ් ත්‍රෝං කතා මාලාවේ 8 වැනි සහ අවසන් කතා මාලාව විකාශය වෙයි. එය කොටස් 6 කින් යුක්ත වන අතර අවසන් කොටස ලබන සඳුඳා දිනයේ විකාශය වීමට නියමිතය.

ගේම් ඔෆ් ත්‍රෝං අවසන් කතාමාලාව ගැන එහි රසික රසිකාවියන් ලොකු බලාපොරොත්තුවක් තබා ගෙන සිටි නමුත්, කතාව ගෙතී යන ආකාරය ඔවුන්ගේ නොසතුටට හේතුවක් වී ඇති බව පැවැසෙයි. ලොව පුරා ගේම් ඔෆ් ත්‍රෝං රසික රසිකාවියන් අන්තර් ජාලය හරහා එක් වී, අවසන් කතාමාලාව යළි නිර්මාණය කර විනාශය කරන්නැයි ලක්ෂ 5 ක පිරිසකගේ අත්සනින් පෙත්සමක් සකස් කර ‘එච්.බී. ඕ.’ නාළිකාවට යවා ඇත්තේ ඒ අනුවය.

ලන්ඩනයේදීය (බී.බී.සී.)


RECOMMEND POSTS