හොඳත් නෑ: නරකත් නෑ: ‘වෙනම්’



මාවල් චිත්‍රකතා චරිත අතර වීරයන් පමණක් නොව අපූරු දුෂ්ඨයෝ ද වෙති. ඊට අමතරව, වීරයන් ද නොවන දුෂ්ඨයන් ද නොවන අතරමැදියෝ පිරිසක් ද වෙති. මාවල් සිනමා ලෝලීන්ගේ ආදරයට ලක් වුණු ‘ඩෙඞ්පූල්’ එවැනි චරිතයකි. තවත් ‘නරක හොඳ’ චරිතයක් ලෙස සැලකෙන්නේ ‘වෙනම්’ ය. ‘වෙනම්’ යනු මිනිස් සිරුරක් හා බද්ධ වන දියරමය පිටසක්වළ ජීවියෙකි.

මාවල් චිත්‍රකතා ලෝකයේ ‘වෙනම්’ පළමුවෙන් කරළියට පැමිණෙන්නේ ‘ස්පයිඩර් මෑන්’ සමඟ බද්ධවීමෙනි. ස්පයිඩර් මෑන්ගේ රතු සහ නිල් ඇඳුම, කළු පැහැ ගැන්වෙන්නේ ‘වෙනම්’ හා සම්බන්ධ වීමෙනි. මෙය සෑම් රෙමී අධ්‍යක්ෂණය කළ 2007 වසරේ තිරගත වුණු ‘ස්පයිඩර් මෑන් 3’ චිත්‍රපටයේ දකින්න ලැබුණි.

‘සිම්බයෝටික්’ යන නමින් හැඳින්වෙන පිටසක්වළ ජීවියා සමඟ බද්ධ වන්නේ එඩී බෲක් නමැති මාධ්‍යවේදියාය. ස්පයිඩර් මෑන් කතා මාලාවට අනුව, එඩී බෘක්, පීටර් පාකර්/ස්පයිඩර් මෑන්ගේ සතුරාය.

කෙසේ නමුත් අලුතින් නිර්මාණය වුණු මෙම ‘වෙනම්’ චිත්‍රපටයට ස්පයිඩර් මෑන් සම්බන්ධ නොවෙයි. කතාව ‘වෙනම්’ සහ එඩී බෲක් අතරේ ගලා යයි. එඩී බෘක්ගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය නළු ටොම් හාඩිය.

එඩී බෘක් ‘වෙනම්’ බවට පරිවර්තනය වෙද්දී, ‘වෙනම්’ පරිගණක විශේෂ ප්‍රයෝග ඇසුරින් නිර්මාණය කර තිබේ. මේ සඳහා නවීන පරිගණක තාක්ෂණය යොදාගෙන ඇති බව ද පැවැසෙයි.

ලබන ඔක්තෝබර් 4 වැනිදා සිට ‘වෙනම්’ ලොව පුරා තිරගත වෙයි. මෙය මාවල් සිනමා ලෝකය සමඟ සම්බන්ධ වුවත් හුදෙකලා චිත්‍රපටයකි. ‘වෙනම්’ රූබන් ෆ්ලෙයිචර්ගේ අධ්‍යක්ෂණයකි. මිචෙල් විලියම්ස්, වුඩී හැරල්සන්, රිස් අහ්මද් ආදීහු චිත්‍රපටයට සම්බන්ධ වී සිටිති.

 


RECOMMEND POSTS