හිලරිගේ පොත එළිදකී



පසුගිය වසරේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී පරාජයට පත්වුණු ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්, සිය අත්දැකීම් ඇසුරින් රචනා කළ ‘මොකද වුණේ ?’ කෘතිය පසුගිය දා එළිදැක්වූවාය.

පොත එළිදැක්වීම සිදුවූයේ නිව්යෝක් නුවර යූනියන් චතුරස්‍රයේ ‘බාන්ස් ඇන්ඞ් නෙබෙල්’ ශ්‍රවණාගාරයේදීය. 2016 ජනපතිවරණයට ඉදිරිපත් වීම, ජනපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුවුණු ආකාරය ඇතුළු සිදුවීම් ගණනාවක තොරතුරු මෙම කෘතියට ඇතුළත් වෙන බව හිලරි ක්ලින්ටන් කියා සිටී.

69 හැවිරිදි වියෙහි පසුවන හිලරි ක්ලින්ටන්, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ බිරියයි.

ට්‍රම්ප්ට පෙර ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ බැරැක් ඔබාමාගේ පළමු ධුර කාලයේදී, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළේ ද හිලරි ක්ලින්ටන්ය.

ඩිමොක්‍රටික් පක්ෂයෙන් හිලරි ජනපතිවරණයට ඉදිරිපත් වෙද්දී, ඇමෙරිකානුවන් පමණක් නොව, ජාත්‍යන්තර ප්‍රජාව විශ්වාස කළේ ඇය ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් වනු ඇතැයි කියාය. කෙසේ නමුත් ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරද්දී, ඊ මේල් අවභාවිතයක් සිදු කළ බවට හිලරිට චෝදනා එල්ල විය. ඒ, ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදීය. එය ඇයට අවාසියක් වුණු බව දේශපාලන විශ්ලේෂකයෝ පසුව පෙන්වා දුන්නාහ.

කවුරුත් පුදුමයට පත් කරමින්, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් ජනපති ධුරයට පත් වූයේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේත් රුසියානු රජයේත් සහාය ඔහුට ලැබුණු නිසා යැයි යැයි ‘මොකද වුණේ ?’ කෘත්‍රිය හරහා හිලරි ක්ලින්ටන් චෝදනා කරයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS