හැරී-මේගන් කෞතුකාගාරයෙනුත් ඉවතට



බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ආදිපාද හැරී මේගන් යුවළගේ ඉටි රූ ඉවත් කරමින් ලන්ඩනයේ මැඩම් ටුසාඩ් කෞතුකාගාරය ගත් ක්‍රියාමාර්ගයක් ඇතැමුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ආදිපාද හැරී මේගන් යුවළගේ ඉටි රූප ලන්ඩනයේ මැඩම් ටුසාඩ් හි රාජකීය ඉටි රූප අතරින් ඉවත් කර ඇත.මීට පෙර මෙම යුවලේ ඉටි අනුරූ රැජින සහ එඩින්බරෝ ආදිපාදවරයා අසල තිබු අතර කේට් සහ විලියම් කුමරු අනෙක් පසෙහි නිර්මාණය කර තිබුණි.

ඔවුන් දෙපළ රාජකීයත්වය අත හැර යාම මීට ආසන්නතම හේතුව වී ඇත. කෙසේ වෙතත් රාජකීය යුවළගේ ඉටි රූවලට කෞතුකාගාරයේ වෙනත් සුදුසු ස්ථානයක් ලබාදීමට පියවර ගන්නා බව මැඩම් ටුසාඩ් කෞතුකාගාරය පවසා තිබුණි.

ලෝකයේ විවිධ ප්‍රසිද්ධ ස්ථාන අතරින් වෙනස්ම ආකාරයේ ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක් ලෙස බ්‍රිතාන්‍යයේ මැඩම් ටුසාඩ් කෞතුකාගාරය ප්‍රසිද්ධයි.ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඉටි රූප. කලා, දේශපාලන, විද්‍යා මේ වගේ විවිධ ක්ෂේත්‍ර වලට සම්බන්ධ පුද්ගලයින් රාශියකගේ රූප මේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

කෙසේ වෙතත් රාජකීය පවුලේ සාමාජිකයන්ට හිමි ස්ථානයෙන් සසෙක්ස් ආදිපාද යුවළගේ ඉටි රූ ඉවත් කිරීමට ඔවුන් ගත් ක්‍රියාමාර්ගය ඇතැමුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබුණි.

බ්‍රිතාන්‍ය රජ පවුල තුළ හැරී කුමරුගේ අනාගතය පිළිබඳ සාකච්ඡා පැවැත්වෙමින් තිබිය දී සහ සසෙක්ස් ආදිපාදවරිය මේගන් මාකල් සිය පුතු සමඟ කල් ගෙවීම සඳහා නැවතත් කැනඩාව බලා පිටත්ව ගොස් ඇත.හැරී කුමරු සහ මේගන් කුමරිය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ රාජකාරිවලින් ඉවත් වීමට ගත් තීරණය හේතුවෙන් බ්‍රිතාන්‍ය රාජකීය පවුල පසුවන්නේ දැඩි සිත් වේදනාවෙන්.හැරී සහ මේගන් සිය පුතු ආචි සමඟ පසුගිය නත්තල් නිවාඩු සමය ගත කළේ කැනඩාවේයි.

මේගන් මාකල් මෙසේ කැනඩාවට පිටත්ව ගොස් තිබෙන්නේ, හැරී සහ මේගන්ගේ තීරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ විසඳුමක් ලබා දීමට කටයුතු කරන මෙන් රැජින, චාල්ස් කුමරු සහ විලියම් කුමරු සිය කාර්ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙන අතරවාරයේ වීම විශේෂත්වයක්.

මෙම තීරණයට එළඹීමට පෙර හැරී කුමරු සහ මේගන් රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකුගෙන් කිසිදු උපදෙසක් ලබාගෙන නැහැ.

රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වී මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමටත් එක්සත් රාජධානිය සහ උතුරු ඇමරිකාවේ ජීවත් වීමටත් ඔවුන් තීරණය කර ඇත.ඔවුන්ගේ තීරණය කෙසේවෙතත් හැරී කුමරු තවමත් රජ පවුලේ ඔටුන්න හිමිවෙයි.කේට් සහ විලියම් කුමරුට අයත් කේම්බ්‍රිජ් පුණ්‍යායතනයෙන් පසුගිය වසරේ ජුනි මස දී ඉවත් වීමෙන් පසු සසෙක්ස්හි රාජකීය පුණ්‍යායතනයක් ආරම්භ කිරීමට ඔවුන් සැලසුම් කරයි.

එම පුණ්‍යායතනයට එක්සත් රාජධානිය පමණක් නොව අප්‍රිකාව මෙන්ම එක්සත් ජනපදය ද සම්බන්ධ කර පවත්වාගෙන යනු ඇති අතර, කාන්තාවන් සවිබල කිරීම එහි ප්‍රධාන අරමුණයි.

( තිළිණි ද සිල්වා )
ගාඩියන් ඇසුරෙනි.

RECOMMEND POSTS