සුපිරි වීරවරිය කැප්ටන් මාවල් එනවා



මෙම වසරේ කවුරු කවුරුත් පුලපුලා බලා සිටින්නේ ලබන අප්‍රේල් 26 වැනිදා ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවේ අවසන් කොටස වන ‘ඇවෙන්ජර්ස්: ද එන්ඞ්ගේම්’ පැමිණෙන තුරුය.

මෙහි පළමු කොටස ‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර්’ පසුගිය වසරේ තිරගත වූයේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින්, බටහිර චිත්‍රපට ලෝලීන් අමන්දානන්දයට පත් කරමිනි.

‘ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිටි වෝර්’ අවසානයේ දී, ‘කැප්ටන් මාවල්’ චිත්‍රපටයට ප්‍රවේශයක් ලබා දුන්නේය. ඒ අනුව, ‘ඇවෙන්ජර්ස්: ද එන්ඞ්ගේම්’ චිත්‍රපටයට පෙර ‘කැප්ටන් මාවල්’ චිත්‍රපටය ලබන මැයි අට වැනිදා සිට ලොව පුරා තිරගත වෙයි.

කැප්ටන් මාවල් ලෙසින් හැඳින්වෙන්නේ සුපිරි බලයක් ඇති වීරවරියකි. මැය කැරොල් ඩැන්වර්ස්ය. කැප්ටන් මාවල්ගේ චරිතයට පණ පොවන්නේ සම්මානනීය නිළි බ්‍රී ලාසන්ය. ‘කැප්ටන් මාවල්’ චිත්‍රකතා සේම, මෙම නවතම චිත්‍රපටයට ද පාදක වන්නේ 90 දශකය සහ පෘථිවිය ආක්‍රමණයට පැමිණෙන ‘ස්ක්‍රල්’ නමැති ස්වරූප වෙනස් කළ හැකි පිටසක්වළ ජීවීන් කණ්ඩායමකි.

පෘථිවිවාසියකු වන කැරොල්ට සුපිරි බලය සහ හැකියාව ලැබෙන්නේ ක්‍රී නමින් හැඳින්වෙන පිටසක්වළ ජීවීන්ගෙනි. ක්‍රී සහ ස්ක්‍රල් ජීවීන් විශේෂ අතරේ පවතිය යුද්ධයට කැප්ටන් මාවල් සහ පෘථිවිය මැදිවෙයි. චිත්‍රපටයේ කතාව එයයි.

කැප්ටන් මාවල් හෙවත් කැරොල් ඩැන්වයර්ස් හමුවී ඇය සමඟ එක්ව වික්‍රමවල යෙදෙන්නේ නික් ෆියුරිය. නික් ෆියුරි ඇවෙන්ජර්ස් චිත්‍රපටවල දකින්න ලැබුණු ‘ෂීල්ඞ්’ නමැති රහස් ඒජන්සියේ ප්‍රධානියාය. කැප්ටන් මාවල් චිත්‍රපටයේ අපට දකින්න ලැබෙන්නේ තරුණ නික් ෆියුරි කෙනෙකි. සැමුවෙල් එල් ජැක්සන් සුපුරුදු පරිදි නික් ෆියුරිගේ චරිතයට පණ පොවයි. ඔහුට තරුණ පෙනුමක් ලබා දී ඇත්තේ විශේෂ පරිගණක ප්‍රයෝග ඇසුරිනි. නික් ෆියුරිට එක් ඇසක් අහිමි වන්නේ ද මෙම කැප්ටන් මාවල් චිත්‍රපටයේදී යැයි ද පැවැසෙයි.

කැප්ටන් මාවල් චිත්‍රපටයේ ඇති විශේෂත්වය නම්, මෙම චිත්‍රපටය කිසියම් විදියකින් ‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර්’ චිත්‍රපටය සමඟ සම්බන්ධ වීමය. එය දැන ගැනීමට නම්, චිත්‍රපටය නැරැඹිය යුතුය.

ජූඞ් ලෝ, ජිමොන් හොන්සෝ, බෙන් මැඞ්ල්ෂොන්, ගෙමා චෙන්, කාලාක් ග්‍රෙග්, ඇනෙට් බීන් ආදීහු චිත්‍රපටයට එක් වී සිටිති. මාවල් චිත්‍රකතා ඇසුරින් නිර්මාණය වන පළමු සුපිරි වීරවරියගේ වික්‍රමය මෙයයි. කැප්ටන් මාවල් ඇනා බෝඞ්න් සහ රයන් ෆ්ලෙක්ගේ අධ්‍යක්ෂණයකි.

 


RECOMMEND POSTS