සම්මුඛ සාකච්ඡාව අතරතුරේ භූමිකම්පාවක්



ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය ඊයේ අයිස්ලන්ත අගමැතිනී කේත්‍රින් ජේකොබ්ස්ටේටියා, වීඩියෝ පණිවුඩ හුවමාරු තාක්ෂණය ඔස්සේ සජීවී සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ කර ගැණින.

අයිස්ලන්තයේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන්, වොෂින්ටන් පෝස්ට් මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නවලට 44  හැවිරිදි අගමැතිනිය පිළිතුරු දෙමින් සිටිද්දී, අයිස්ලන්තය භූමි කම්පාවකින් කැලඹිණි. අගමැතිනිය සම්මුඛ සාකච්ඡාවට එක් වී සිටියේ ඇගේ නිවසේ සිටය.

නිවස තත්ත්පර කීපයක් දෙදරා යන හැටි වීඩියෝ දසුන් හරහා දකින්න ලැබුණි. ‘අපොයි දෙවියනේ භූමිකම්පාවක්’ යැයි පැවැසුවත්, අගමැතිනිය කලබලයට පත් වූ බවක් පෙනෙන්න නොතිබුණි. භූමිකම්පාව අවසන් වූ පසු ‘මම හොඳින්. අයිස්ලන්තයේ හැටි ඔහොම තමයි’ යැයි සිනහසෙමින් අගමැතිනිය පැවැසුවාය. ඉන්පසු ඇය යළිත් සම්මුඛ සාකච්ඡාවට එක් වූවාය. භූමිකම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 5.7 ක් සටහන් කළ බවත්, එයින් කාටවත් හානියක් සිදු නොවුණු බවත් පසුව වාර්තා විය.

මීට පෙර මෙවැනි අවස්ථාවකට නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් ද මුහුණ දුන්නාය. ඒ පසුගිය මැයි 25 වැනිදාය. එම අවස්ථාවේ ඇය සජීවී මාධ්‍ය හමුවකට එක් වී සිටියාය. භූමි කම්පාවෙන් සියල්ල දෙදරා යද්දී, ඇය බොහොම සන්සුන් අයුරින් ඊට මුහුණ දුන්නේ භූමි කම්පාව සම්බන්ධයෙන් විහිළුවක් ද කරමිණි.

(බීබීසී)


RECOMMEND POSTS