විවාහ වෙන්න හදිස්සියක් නෑ



ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනාස්ගේත්, රන්වීර් සිං සහ දීපිකා පදුකෝන්ගේත් විවාහ මංගල්‍යයන්ගෙන් පසු ආලියා බාත් සහ ඇගේ පෙම්වතා රන්බීර් කපූර්ගේ මංගල උත්සවය පැවැත්වෙනු ඇති බවට කසුකුසුවක් පැතිර යන්න විය.

‘රාසි’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ ආලියා පසුගිය දා ඉන්ටග්‍රෑම් හරහා සජීවීව රසික රසිකාවියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අතර, එහිදී ඇය කියා සිටියේ විවාහ වෙන්න ඇයට හදිස්සියක් නොමැති බවය.

‘කවුරුත් උනන්දුවෙන් ඉන්නේ මගේ විවාහය සිදුවෙනකල්. විවාහ වෙන්නේ කවදාදැයි අහනවා. මට තාම 25 යි. ජනප්‍රිය රැල්ලට විවාහ වෙන්න මගේ ඕනෑකමක් නැහැ.’ යැයි ආලියා පැවැසුවාය.

‘සන්ජු’ චිත්‍රපටයේ අපූරු රංගයනයක යෙදෙමින් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළුවා වූ රන්බීර් කපූර් ද පවසා ඇත්තේ විවාහ වෙන්න තමන් ඉක්මන් නොවන බවය.

‘විවාහය කියන්නේ අවශ්‍ය වෙලාවට ඉබේටම වෙන්න ඕනෑ දෙයක්. මට දැන් 35 යි. මං විවාහ වෙන්න ඕනෑ කියලා විවාහ වෙන්න හොඳ නැහැ. ඒක අසාර්ථක විවාහයක් වේවි.’ යැයි රන්බීර් පවසා තිබේ.

ආලියා සහ රන්බීර් රිදී තිරයේ පෙම්වතුන් ලෙස ‘බ්‍රහ්මස්ත්‍ර’ චිත්‍රපටය හරහා කරළියට පැමිණීමට නියමිතය. ‘බ්‍රහ්මස්ත්‍ර’ චිත්‍රපටය මෙම වසරේ දෙසැම්බරයේ තිරගත වෙයි. මේ වනවිට ආලියා සහ රන්බීර් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවල නියැලී සිටිති.

(ඉන්දියා ටුඬේ ඇසුරිනි)

 


RECOMMEND POSTS