වසර පනහක් ඉන්දියාවේ සිර වී සිටි චීන හමුදා නිලධාරියා !



වසර පනහකට අධික කාලයක් ඉන්දියාවේ සිර වී සිටි චීන ජාතික හමුදා නිලධාරියෙක්  යළි ඔහුගේ මව්බිමට පැමිණ සිය මුල් පවුලේ සාමාජිකයන් මුණගැසීමේ අපූරු විරල සිද්ධියක් ඉකුත්දා වාර්තා විණි.

සිය දරු මුනුපුරන් සමග චීනයේ 'සියාංයාන්' ප්‍රාන්තයට පැමිණි වැන්ග් කී (Wang Qi) පිළිගැනීම සඳහා ඔහු උපන් චීන ගමට විශාල පිරිසක් රැස්ව සිටියහ.ඔවුන් අත වූ බැනර්වල "රණවිරුවා සාදරයෙන් පිළිගනිමු" යනුවෙන් ලියා තිබෙනු දක්නට ලැබුණි.

1963 වසරේ ඉන්දු- චීන දේශ සීමාවේ මහාමාර්ග ඉදිකිරීමේ කටයුතුවල නිරතව සිටිය දී තමා වැරදීමකින් ඉන්දියාවට ඇතුල් වී ඇති බව හිටපු හමුදා නිලධාරී වැන්ග් කී (Wang Qi) පවසයි. ඉන්දියානු භූමියේ දී අත්අඩංගුවට ගනු ලැබුණ වැන්ග් කී (Wang Qi) අවුරුදු හයක පමණ කාලයක් සිරගත කර තැබීමෙන් අනතුරුව මධ්‍යම ඉන්දියාවේ දුර බැහැර ප්‍රදේශයක දී නිදහස් කරනු ලැබ ඇත.නිදහස ලද ඔහු එම ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වී එහිම ජීවත් වූ බව පවසයි.

වැන්ග් කී (Wang Qi) පසුගියදා චීන විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් අතර රටින් බැහැරව යාමට ඉන්දීය බලධාරීන්ගේ අවසරය ලැබුණි. යළි ඉන්දියාවට පැමිණීමේ අදහසක් ඔහු තුළ තිබේද යන්න පැහැදිලි නැත.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී  ඇසුරෙනි...... 

 


RECOMMEND POSTS