ලොකු වීරයෙක් වෙන පොඞ්ඩා: ‘ෂසෑම්’



සුපර්මෑන්, බැට්මෑන්, වොන්ඩර් වුමන් ආදී සුපිරි වීරයන් ඇතුළත් ‘ඩී.සී.’ චිත්‍රකතා වීරයන්ගෙන් කෙනකු වන්නේ ‘ෂසෑම්’ ය.

කැප්ටන් මාවල් යන නමින් ද හැඳින්වෙන ‘ෂසෑම්’ යනු ග්‍රීක දෙවියන්ගේ සහ වීරයන්ගේ ශක්තිය, බලය සහ සුපිරි වේගය හිමි වීරයෙකි. ෂසෑම් වීරයා බවට පත් වන්නේ බිලී බැක්ස්ටක් නමැති 14 හැවිරිදි ගැටවරයාය.

හිත හොඳ අවංක, අනුන්ට පිහිටවන ධෛර්යමත් අනාථ දරුවකු වන බිලීට, ෂෑසෑම් වීරයා බවට පරිවර්තනය වීමට බලය ලබා දෙන්නේ මන්තරකරුවෙකි. ඒ අනුව, ‘ෂසෑම්’ යන වදන පැවැසීමෙන්, බිලී ෂසෑම් සුපිරි වීරයා බවට පරිවර්තනය වෙයි.
මාවල් චිත්‍රකතා වීරයන් මෙන්, ඩී.සී. චිත්‍රකතා වීරයන් ඇසුරින් කළ චිත්‍රපට ජනප්‍රිය නොවිණි. ජනප්‍රිය වූයේ නම්, ඒ ‘වොන්ඩර් වුමන්’ චිත්‍රපටයත් ‘ඇක්වා මෑන්’ චිත්‍රපටයත් පමණි. ප්‍රහසනය පිරි ‘ෂසෑම්’ චිත්‍රපටය ද ලොකු කුඩා කාටත් එක සේ රසවිඳිය හැකි අපූරු චිත්‍රපටයකි.

‘ෂසෑම්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඬේවිඞ් එෆ්. සැන්ඩර්ග්ය. මෙය ක්‍රියාදාම පිරි ප්‍රහසනයකි. ෂසෑම් වීරයාගේ චරිතයට රංගනයෙන් දායක වන්නේ ප්‍රහසන නළු සැකරි ලෙවීය. බිලී බැක්සටන්ගේ චරිතයට නිරූපණය කරන්නේ ඇෂර් ඒන්ජල්ය. මන්තරකරුගේ චරිතය ජිමොන් හොන්සූ විසින් ද චිත්‍රපටයේ නපුරා වන ‘ඩොක්ටර් ෂිවානා’ ලෙස මාර්ක් ස්ට්‍රෝන්ග් ද නළු නිළි කැළ අතර සිටිති. ‘ෂසෑම්’ චිත්‍රපටය අප්‍රේල් පස් වැනිදා සිට ලොව පුරා තිරගත වීමට නියමිතය.


RECOMMEND POSTS