රන්බීර් - ආලියා සම්මාන ඩැහැ ගනී



හැට හතරවන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල ඉකුත් සති අන්තයේ දී නිමා වුයේ  බොලිවුඩ් තරු රැසකගේ තරු සිහින මල්ඵල ගන්වමිනි.

 මෙවර හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුණේ රන්බීර් කපූර්, ඒ සංජු චිත්‍රපටය වෙනුවෙන්. ඔහු මෙම සම්මානය හිමි කරගත්තේ තෙවෙනි වතාවටයි.

හොඳම නිළිය වුණේ ආලියා භාත් රාසි චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන්. ඇය මෙම සම්මානයට හිමිකම් කියන්නේ දෙවන වතාවටය .

හොඳම සහය නළුවාට හිමි සම්මානය, සම සම්මාන ලෙසින් විකී කෞෂාල් සංජු වෙනුවෙනුත්, ගජ්රාජ් රාඕ බධායී හෝ වෙනුවෙනුත් හිමිකරගත්තා. බධායී හෝ චිත්‍රපටයේ ආච්චිගේ චරිතය රඟපෑ සුරේඛා සික්රී හොඳම සහය නිළිය ලෙස සම්මාන හිමිකරගත්තා. හොඳම විචාරක නිළිය වුණේ නීනා ගුප්තා බධායී හෝ චිත්‍රපටයෙහි කළ රංගනයට, හොඳම විචාරක නළුවාට හිමි සම්මානය ද දෙදෙනෙක්ට පිරිනැමුණා, ඒ රන්වීර් සිංට පද්මාවත් වෙනුවෙන් සහ අයුෂ්මාන් කුරාණාට අන්ධාධූන් වෙනුවෙන්. හොඳම නවක නිළිය වුණේ සාරා අලි ඛාන් කෙදර්නාත් වෙනුවෙන්, හොඳම නවක නළුවා වුණේ ඉෂාන් කත්තර් බියොන්ඩ් ද ක්ලවුඩ්ස් වෙනුවෙන්.

හොඳම සංගීත ඇල්බමයට හිමි සම්මානය පිරිනැමුණේ සංජේ ලීලා බන්සාලිට පද්මාවත් වෙනුවෙන්, හොඳම ගායකයා වුණේ අරිජිත් සිං රාසි චිත්‍රපටයේ ඒ වතන් ගීතය වෙනුවෙන්.. ඒ පිට පිට හතරවන වතාවට, මේ ඔහුගේ පස්වෙනි සම්මානයයි. හොඳම ගායිකාව වුණේ ශ්‍රේයා ඝෝෂාල් පද්මාවත් චිත්‍රපටයේ ඝූමර් ගීතය වෙනුවෙන්, මේ ඇයගේ හයවන සම්මානය වන අතර හොඳම ෆිල්ම්ෆෙයාර් සම්මාන වැඩිම ගණනක් හිමි ගායිකාවන් අතර ඇය දෙවෙනි වන්නේ අල්කාට සහ ආශා බෝස්ලේට පමණයි. ආර්.ඩී. බර්මන් සම්මානය හිමිවුණේ සිතාර් වාදකයෙකුවන නිලාද්රි කුමාර්ට ලයිලා මජ්නු චිත්‍රපටය වෙනුවෙන්

හොඳම චිත්‍රපටය ලෙස රාසි සම්මාන හිමිකරගනිද්දී හොඳම අධ්‍යක්ෂක ලෙස සම්මානයට පාත්‍ර වුණේ එහි අධ්‍යක්ෂිකාව වන මේඝනා ගුල්සාර්. හොඳම විචාරක චිත්‍රපටය වුණේ අන්ධාධූන්.

ජීවිතේට එක් වරක් පමණක් පිරිනැමෙන ලයිෆ්ටයිම් ඇචීව්මන්ට් අවොර්ඩ් එක මෙවර පිරිනැමුණේ නැසීගිය නිළි ශ්‍රී දේවිහට... වසර 50ක් පුරා බොලිවුඩයට කළ සේවය වෙනුවෙන් හේමා මාලනී හට විශේෂ සම්මානයක් පිරිනැමුණා. හොඳම නවක අධ්‍යක්ෂකවරයා වුණේ ස්ත්‍රී චිත්‍රපටයේ අධ්‍යක්ෂක අමාර කෞෂික්ට.

මෙවර සම්මාන උළලේ වැඩිම සම්මාන හිමිකරගත් චිත්‍රපටයන් වූයේ රාසි සහ අන්ධාධූන් සම්මාන පහ බැගින් හිමි කරගනිමින්, බධායී හෝ සහ පද්මාවත් සම්මාන හතර බැගින්ද තුම්බාද් සම්මාන තුනක්ද හිමිකරගත්තා.

පෑඩ්මෑන්, ගෝල්ඩ්, ඔක්තෝබර්, සුයි දාගා, පටාකා, හිච්කි වැනි ගිය වසරේ වඩාත් කතාබහට ලක්වුණු චිත්‍රපටවලට එකදු සම්මානයක්වත් හිමි නොවීමත් විශේෂ සිද්ධියක්.

( තිළිණි ද සිල්වා )

ෆිල්ම් ෆෙයාර් ඇසුරෙනි


RECOMMEND POSTS