රජ මඟුලට දැරියකට ඇරැයුම්



බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකා ටෙලි නිළි මේගන් මාකෙල්ගේ රාජකීය මංගල උත්සවයට, සහභාගී වෙන්නැයි 12 හැවිරිදි බි්‍රතාන්‍ය දැරියක වන අමීලියා තොම්සන්ට ඇරැයුම් ලැබී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මංගල උත්සවයට සහභාගී වෙන්නැයි ඇරැයුම්පත ලැබෙද්දී, එය කාගේ හෝ විහිළුවක් යැයි අමීලියා පමණක් නොව, ඇගේ මව ලීසා නිව්ටන් පවා සිතුවේ යැයි ද පැවැසෙයි.

අමීලියා ඉකුත් වසරේ මැන්චෙස්ටර් රඟහලේ පැවැති ඇමෙරිකන් පොප් ගායිකා ඒරියානා ග්‍රාන්දේගේ සංගීත ප්‍රසංගය නැරැඹීමට ගිය දැරියන්ගෙන් කෙනෙකි.

එම ප්‍රසංගයට අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල විය. එය මුළු ලොවම කම්පාවට පත් කළ සිදුවීමක් විය. ප්‍රහාරයෙන් මියගිය ගණන 22 කි. එඅ අතර කුඩා දරු දැරියෝ හතකි. තුවාල ලැබූ ගණන 500 කට වැඩිය.

අමීලියා ද එම ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් දැරියන්ගෙන් කෙනෙකි. හැරී සහ මේගන් යුවල, වින්ස්ඩෝර් මාලිගයේ පැවැත්වෙන ඔවුන්ගේ මංගල උත්සවයට අමීලියාට ඇරැයුම් කර ඇත්තේ එහෙයිනි.

හැරී සහ මේගන් මාකෙල්ගේ මංගල උත්සවය පැවැත්වෙනු ඇත්තේ මැයි 19 වැනිදාය. යුවල පසුගිය දා නිවේදනය කළේ විශේෂ අමුත්තන් ලෙස තෝරාගත් සාමාන්‍ය වැසියන් 1,200 දෙනකුට ඇරැයුම් කරන බවය. අමීලියා ද ඔවුන්ගෙන් කෙනකු වන බව පැවැසෙයි.

දේශපාලනඥයන් කිසිවකු මංගල උත්සවයට ඇරැයුම් නොකිරීමට ද හැරී සහ මේගන් තීරණය කර ඇති ඉය ස වාර්තා වේ. විවාහ මංගල උත්සවය පැවැත්වෙන වින්ස්ඩෝර් මාලිගය අයති දෙවැනි එලිසබත් මහ රැජිනටය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS