යුක්රේන ජනාධිපතිට කොරෝනා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු යැයි තහවුරු වීමෙන් පසු, යුක්රේන ජනාධිපති 42 හැවිරිදි ව්ලොදිමීර් සෙලෙන්ස්කී රෝහල්ගත කළ බව වාර්තා වේ.

රෝහල්ගත කිරීමෙන් පසු, ජනාධිපතිවරයා අවස්ථා දෙකකදී වීඩියෝ පණිවුඩ දෙකක් මගින් ජාතිය ඇමැතුවේය. ජනාධිපති සෙලෙන්ස්කී රෝහල්ගත කෙරුණේ පෙරේදා (11) ය. ‘කොරෝනා වයිරසයෙන් මටත් ගැලවෙන්න බැරිවුණා’ යැයි ජනාධිපතිවරයා එහිදී පැවැසුවේය.

වෛද්‍යවරුන් පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ වැඩි ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් ඔහු රෝහල්ගත කළ බවත්, ඔහුගේ තත්ත්වය ගැන බිය විය යුතු නැති බවත්ය.

කොරෝනා ආසාදිතයකු ලෙස තහවුරු වුවත් තමන් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, රෝහලේ නිරෝධායනය වෙමින් පසුවන බවත්, රජයේ කටයුතු බාධාවකින් තොරව සිදුවන බවත් ජනාධිපති සෙලෙන්ස්කී පැවැසුවේය.

දූෂණ වංචා සම්බන්ධයෙන් රජය නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවත් එම කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුවෙන බවත් ජනාධිපතිවරයා පැවැසුවේ දෙවැනි වීඩියෝ පණිවුඩය හරහා ජාතිය ඇමැතූ අවස්ථාවේදීය.

යුක්රේනයේ මුදල් ඇමැතිවරයාත්, ආරක්ෂක ඇමැතිවරයාත් මේ වනවිට කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි ද වාර්තා වේ. යුක්රේනය පසුගිය සැප්තැම්බරයේ සිට කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලට මුහුණ දෙයි.

යුක්රේනයේ සමස්ත කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 5,00,865 පසු කර ඇති අතර මරණ වාර්තා වන්නේ 9,145 ක් ලෙසිණි. වයිරස ආසාදිතයන් වැඩිවෙද්දී, රට ලොක්ඩවුන් කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන ඇත. ඒ, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමේ අරමුණින්ය.

කීව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS