මෙක්සිකෝ ජනපතිට කොවිඩ්



මෙක්සිකෝ ජනාධිපති ඇන්ද්‍රේස් මැනුවෙල් ලොපේස් ඔබ්රාඩෝ ට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදනය වී ඇත.

තමන් වයිරස ආසාදිතයකු යැයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමිනි.

‘කනගාටුවෙන් වුවත්, මට දැනුම් දෙන්න සිදුවෙනවා. මා කොරෝනා ආසාදිතයකු බව. රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත්, වෛද්‍යවරුන් මට ප්‍රතිකාර ලබා දීම ආරම්භ කර තිබෙනවා.’ යැයි ජනාධිපති ලෝපේස් සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා තිබේ.

‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීම අපොහොසත් වූයේ යැයි 67 හැවිරිදි ලෝපේස් ට චෝදනා එල්ල වී තිබේ. වයිරස ව්‍යාප්තිය ආරම්භ වෙද්දී, සෞඛ්‍ය අංශ තරයේ කියා සිටියේ රට කඩිනමින් ලොක්ඩවුන් කරන ලෙසය. කෙසේ නමුත් ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් එම අවස්ථාවේදී පිළිගත්තේ නැත.

කෙසේ නමුත් වයිරස ආසාදිතයන් දිනෙන් දින ඉහළ යද්දී, ජනාධිපතිවරයා රට ලොක්ඩවුන් කළ නමුත් ඒ අවස්ථාව වනවිට ප්‍රමාද වැඩි යැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

වයිරස ව්‍යාප්තිය සිදුවෙද්දී පවා ජනාධිපතිවරයා ජනරැලි පැවැත්වීය. ඔහු ඒවාට සහභාගී වූයේ ද මුහුණු ආවරණ නොමැතිවය.

එපමණක් නොව, පසුගිය වසරේ මාර්තුවේ, කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට තමන් සතුව මැජික් සුරයක් ඇති බව ද ජනාධිපතිවරයා පැවැසුවේය.

‘මේක ජේසු තුමන්ගේ බලය ඇති සුරයක්. ජේසුතුමන්ගේ ආරක්ෂාව මට ලැබෙනවා.’ යැයි ජනරැලිවලට සහභාගී වෙමින්, එම සුරය පෙන්වමින්, ජනාධිපතිවරයා මහත් ආඩම්බරයෙන් පැවැසූ බව ද මෙක්සිකෝ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ වනවිට මෙක්සිකෝවෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 1,763,219 කි. මරණ වාර්තා වන්නේ 1,49,614 ක් ලෙසිණි.  

ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 10,872 ක් වාර්තා වූ බවත්, මරණ 530 ක් වාර්තා වූ බවත් මෙක්සිකෝ සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මෙක්සිකෝසිටීහිදීය (රොයිටර්)


RECOMMEND POSTS