මාළු එක්ක කතා කරන ඇක්වා මෑන්



ඩී.සී. චිත්‍රකතා වීරයකු වන ඇක්වා මෑන්ගේ වික්‍රම අපට 2017 වසරේ තිරගත වුණු සුපර්මෑන්, බැට්මෑන්, වොන්ඩර් වුමන්, සයිබෝග් සහ ෆ්ලෑෂ් යන වීර චරිතවල එකමුතුවෙන් නිර්මාණය වුණු ‘ජස්ටිස් ලීග්’ චිත්‍රපටයෙන් හරහා දකින්න ලැබුණි.

ඇක්වා මෑන් එසේත් නැතිනම් ආතර් කරී ලෙස චරිත නිරූපණයේ යෙදෙන්නේ හැඩිදැඩි සිරුරකට හිමිකම් කියන ජේසන් මමෝවා ය.

‘ඇක්වා මෑන්’ චිත්‍රපටයට පාදක වන්නේ ආතර් කරීගේ උපත සහ ඔහු වීරයකු වී, මුහුදු පතුලේ සැඟවුණු ඇට්ලැන්ටිස් රාජධානියේ රජු වන අයුරුය. ඇක්වා මෑන් හෙවත් ආතර් කරී ට සාගර ජීවීන් සමඟ සම්බන්ධ වීමටත් ඔවුන්ගේ සයාය ලබා ගැනීමටත් හැකියාව ඇත. ඔහුට අයෝමය ශක්තියක් ඇති අතර, සෙසු ඇට්ලැන්ටිස් වැසියන් සේම මුහුද යට හුස්ම ගැනීමට පුළුවනි. මනුෂ්‍යයන් සහ ඇට්ලැන්ටිස් වැසියන් සමඟ සාමය ඇති කිරීමට යොමු වන්නේ ඇක්වා මෑන්ය.

ඇක්වාමෑන්ගේ මව ඇට්ලැන්ටිස් රැජිනක වන අතර පියා සාමාන්‍ය මනුෂ්‍යයකි. ඔහු ප්‍රදීපාගාරයක ක්‍රියාකරුවෙකි. චිත්‍රපටයේ ඇට්ලැන්ටිස් රැජිනගේ චරිතයට පණ පොවන්නේ ප්‍රවීණ මෙන්ම සම්මානනීය නළි නිකෝල් කිඞ්මන්ය. මෙම චිත්‍රපටයේ කුඩා ආතර් කරී, හැඩිදැඩි ළමුන්ගේ තාජන පීඩනවලට ලක් වෙයි. මසුන් සමඟ කතා කිරීමට ඇති හැකියාව නිසා විහිළුවට ලක් වෙයි. තමා ඇට්ලැන්ටිස් සැඟවුණු නගරයේ කුමාරයකු බව දැනගත් විට ආතර් කරීගේ ජීවිතය වෙනස් වෙයි.

‘ජස්ටිස් ලීග්’ චිත්‍රපටයේ ඇක්වාමෑන්ගේ පෙම්වතිය මේරා ද ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දීම සිදුවිය. තිරගත වීමට නියමිත ‘ඇක්වාමෑන්’ චිත්‍රපටයේ ආතර් වීර වික්‍රමවල යෙදෙමින්, ඇට්ලැන්ටිස් පුරවරයේ බලයේ සිටින, මනුෂ්‍ය ලෝකය ආක්‍රමණය කරන්න සැරැසෙන අඩ සොයුරු ඕරම් සහ බ්ලැක් මැන්ටා නමැති නපුරන් සමඟ සටන් කරන්නේ, මේරාගේ උදවු ඇතිවය.

මේරාගේ චරිතයට පණ පොවන්නේ ඇම්බර් හර්ඞ් ය. චිත්‍රපටයේ නපුරා ඕරාම්ගේ චරිතයට පණ දෙන්නේ පැට්‍රික් විල්සන් ය. මීට අමතරව, ප්‍රවීණ නළු නිළියන් වන ජිමොන් හොවුන්සෝ, ඩොල්ෆ් ලැන්ඞ්රින්, විලියම් ඩෙෆෝ ආදීහු ද ඇක්වා මෑන් චිත්‍රපටයට එක් වී සිටිති. ඇක්වාමෑන් ජේම්ස් වෑන්ගේ අධ්‍යක්ෂණයකි. ඇක්වාමෑන් ලොව පුරා තිරගත වනු ඇත්තේ දෙසැම්බර් 21 වැනිදා සිටය. ජේම්ස් වෑන් ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙකි.

ෆාස්ට් ඇන්ඞ් ද ෆියුරියස් චිත්‍රපට මාලාවේ 7 වැනි කොටස පමණක් නොව, භීතිය සහ කුතුහලය පිරුණු සෝ චිත්‍රපට මාලාවේ පමණක් නොව, ඉන්සිඩියස් සහ කොන්ජරින යන අතිශය ජනප්‍රිය වුණු බිහිසුණු බවෙන් පිරුණු චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂකවරයා වන්නේ ද ජේම්ස් වෑන්ය. පරිගණක ප්‍රයෝගවලින් පිරුණු ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස ‘ඇක්වා මෑන්’ චිත්‍රපටය සැලකිය හැකිය.


RECOMMEND POSTS