බ්ලේඞ් රනර් යළිත් කරළියට



සම්මානයෙන් ද පිදුම් ලැබූ ‘බ්ලේඞ් රනර්’ 1982 වසරේ තිරගත වූ විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයකි. මෙය සම්මානනීය අධ්‍යක්ෂ රිඞ්ලි ස්කොට් අධ්‍යක්ෂණයෙන් හැඩවූවකි. පරිගණක තාක්ෂණයේ කිසිදු දියුණුවක් නොතිබුණු 80 දශකයේ පෘථිවියේ අනාගතයට ප්‍රේක්ෂකයන් කැඳවාගෙන යන චිත්‍රපටයක් ලෙස ‘බ්ලේඞ් රනර්’ හැඳින්විය හැකිය.

‘ඉන්දියානා ජෝන්ස්’, ‘ස්ටාර් වෝර්ස්’ වැනි චිත්‍රපට හරහා හැරිසන් ෆෝඞ් ජනප්‍රිය හොලිවුඞ් තරුවක් වීමට පෙර, ඔහු ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තේ ‘බ්ලේඞ් රනර්’ හරහාය.

නපුරු මිනීමරු රොබෝ මිනිසුන් පෘථිවියේ අප අතරට පැමිණීමත්, ඔවුන් සොයා මෙහෙයුමක යෙදෙන බ්ලේඞ් රනර් පොලිස් නිලධාරියකු වන රික් ඩෙකාඞ් වටාත් චිත්‍රපටය ගෙතෙයි. හැරිසන් ෆෝඞ් චරිත නිරූපණය කරන්නේ වන රික් ඩෙකාඞ් ලෙසය.

අතීතයේ තිරගත වුණු ‘බ්ලේඞ් රනර්’ චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස ‘බ්ලේඞ් රනර්’ චිත්‍රපටයක් නිර්මාණය වී ඇත. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ හොලිවුඞ් නවක නළු රයන් ග්රොස්ලිංය. මහලු වියට පා තබා සිටින හැරිසන් ෆෝඞ් ද රික් ඩෙකාඞ්ගේ චරිතය යළි ප්‍රතිනිර්මාණය කරයි.

මෙම නව ‘බ්ලේඞ් රනර්’ චිත්‍රපටය නම් කර ඇත්තේ ‘බ්ලේඞ් රනර් 2049’ යනුවෙනි. මෙය ඩෙනිස් වෙලනූගේ අධ්‍යක්ෂණයකි. රොබින් රයිට්, ඇනා දෙ ආමාස්, ජෙරාඞ් ලෙටෝ පමණක් නොව ඬේව් බැටිස්ටා ද චිත්‍රපටයට එක් වී සිටිති. මෙම චිත්‍රපටයේ ලොස් ඇන්ජලීස් බ්ලේඞ් රනර් පොලිස් නිලධාරියා ලෙස චරිත නිරූපණය කරන්නේ රයන් ග්රොස්ලිංය.

පැරැණි චිත්‍රපටය මෙන් නොව, මෙය පරිගණක ප්‍රයෝග උපරිමයෙන් භාවිත කළ ක්‍රියාදාම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකි. ඔක්තෝබර් 6 වැනිදා සිට ‘බ්ලේඞ් රනර්’ ලොව පුරා සිනමාහල්වල තිරගත වනු ඇත.

නවතම බ්ලේඞ් රනර් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරදී පැවැත්විණි. ඊට ප්‍රවීණ නළු හැරිසන් ෆෝඞ් සහ රයන් ග්රොස්ලිං පමණක් නොව, චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන කියුබානු නිළි ඇනා දෙ ආමාස් ද එක් වී සිටියහ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS