පෝලන්ත ජනපති සමාව ඉල්ලයි



පෝලන්ත ජනාධිපති ඇන්ද්‍රේස් ඩූඩා කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු බව තහවුරු විය. ජනපතිවරයා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ පෝලන්තයෙන් දිනපතා වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන වැඩිවෙද්දීය.

වෛද්‍ය පරීක්ෂණයකට යොමු වනතුරු කොරෝනා ආසාදිතයකු බව දැන නොසිටීම සම්බන්ධයෙන් ජනාධිපති ඩූඩා සමාව ඉල්ලීමක් ද කර තිබේ. ආසාදිතයකු යැයි තමන් දැන නොසිටි හෙයින් පසුගිය දිනවල තමන් සමීපයට ආ සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවන ලෙස ද 48 හැවිරිදි ජනාධිපතිවරයා ඉල්ලීමක් ද කළේය.

පෝලන්තයේ කොරෝනා ආසාදිතයන් ගණන 13,700 ක් වන අතර මරණ වාර්තා වන්නේ 180 ක් ලෙසිණි. වෝෂෝ අගනුවර ජාත්‍යන්තර ක්‍රීඩාංගනය කොරෝනා වයිරස ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස් කිරීම පසුගිය සිකුරාදා දිනයේ සිදුවිය. ජනාධිපතිවරයා එහි කටයුතු සිදුවන ආකාරයව සොයා බැලීමට ද ගොස් තිබේ. ඒ, කොරෝනා ආසාදිතයකු බව නොදැනය.

ක්‍රීඩාංගනයේ නිරීක්ෂණ චාරිකාවට ගිය දා ජාත්‍යන්තර කීර්තියට පත් පෝලන්තයේ 19 හැවිරිදි ටෙනිස් ශූරිය ඊගා ස්වයිටක් ට ජනපතිවරයා අතින් සම්මාන පිදීමක් ද සිදුවිය. එම අවස්ථාවට ස්වයිටක්, ඔහුගේ මාපියන් සහ පුහුණුකරු ද සහභාගී වූහ. ස්වයිටක් සහ ඇගේ පියා ජනපති හමුවට ගොස් සිටියේ මුහුණු ආවරණ පැලඳගෙන යැයි ද පෝලන්ත පුවත් සේවා වාර්තා කර තිබේ.‍

යුරෝපා රටක් වන පෝලන්තයේ ජනගහනය මිලියන 38 ක් වන අතර, පසුගිය කාලයේ පෝලන්තයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන ඉතා අඩු මට්ටමක පැවැතිණි. එසේ වුවත්, සංචරණ තහංචි පනවමින්, නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගැණින. කෙසේ නමුත් පසුගිය සති කීපයේ ආසාදිතයන් වාර්තා වීම වැඩි වෙද්දී, තහංචි දැඩි කිරීමට පෝලන්ත රජය තීරණය කළේය. පෝලන්ත වැසියන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වූ අතර විරෝධතා රැලි පවා පැවැත්විණි.

පෝලන්තයේ වැඩි බලතල ඇත්තේත්, ජනාධිපතිවරයාට නොව අගමැතිවරයාටය. රටේ පාලන කටයුතු මෙහෙයවීම සිදු කරනු ලබන්නේ අගමැතිවරයා ප්‍රමුඛ රජයයි. පෝලන්තයේ වත්මන් අගමැතිවරයා වන්නේ මෙටෙයුස් මොරාවිවෙකීය.

වෝෂෝහිදීය (ඒ.එෆ්.පී.)‍


RECOMMEND POSTS