පුටින්ට අභියෝග කරන්න එන සුරූපිනිය



රුසියානු ජනාධිපතිවරණය ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත අතර, යළිත් ජනපති ධුරය වෙනුවෙන් තරග කිරීමට සූදානමින් සිටින ජනපති ව්ලැදිමීර් පුටින්ට, සුරූපී විපක්ෂ ක්‍රියාකාරිනියකගෙන් අභියෝගයක් එල්ල වී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කළේය.

ඇය 35 හැවිරිදි සේනියා සොබ්චැක් ය. ලබන වසරේ පැවැත්වෙන ජනපතිධුර අපේක්ෂකත්වය වෙනුවෙන් ඇය ඉදිරිපත් කළ අයැදුම්පතට ක්‍රෙම්ලීනයේ පූර්ණ අනුමැතිය හිමිවී ඇත.

රුසියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘ප්‍රගතිශීලී පක්ෂය’ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත සේනියා සොබ්චැක් මාධ්‍යවේදිනියකි. එපමණක් නොව, ඇය රූපවාහිනී නිවේදිකාවක මෙන්ම නිළියක ද වන්නීය. සුප්‍රසිද්ධ ‘ඔමේගා’ ඔරලෝසු වෙනුවෙන් ඇය වෙළෙඳ දැන්වීම් කිහිපයකට ද පෙනී සිට ඇත. සේනියා මේ වනවිට දින 20 ක දිර දඬුවමක් විඳින බව ද පැවැසෙයි.

ඒ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අකටයුතුකම් සහ රජයේ දූෂණ වංචා ආදිය සම්බන්ධයෙන් රට වැසියන්ට හෙළි කරමින්, ප්‍රගතිශීලී පක්ෂ ක්‍රියාකාරීන් පිරිවරාගෙන, නීතිවිරෝධී ආකාරයෙන් විරෝධතා රැළි පැවැත්වූයේ යැයි යන චෝදනාවලට වරදකාරිය වීම නිසාය.

රුසියාවේ විපක්ෂ නායක ලෙස පිළිගැනෙන්නේ ප්‍රගතිශීලී පක්ෂයට නායකත්වය දෙන 41 හැවිරිදි ඇලෙක්සි නවාල්නීය. ඔහු ද මේ වනවිට සිරදඬුවම් විඳින බව පැවැසෙයි. විපක්ෂ ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ රුසියානු ජනපති පුටින්ගේ රජය එරට විපක්ෂ කණ්ඩායම් දැඩි ලෙස මර්දනය කරන බවටය.

අධිකරණය හමුවේ චෝදනා රැසකට වරදකරු වී සිටින හෙයින්, ලබන වසරේ පැවැත් වෙන ජනාධිපතිවරණය ඉදිරිපත් වීමට ඇලෙක්සි නවාල්නීට නොහැකි බව ද පැවැසෙයි. පැහැදිලිවම, සේනියා සොබ්චැක්ගෙන්, ජනාධිපති පුටින්ට ප්‍රබල අභියෝගයක් වනු ඇති බව ඇලෙක්සි පවසා තිබේ.

සේනියා සොබ්චැක් ශාන්ත පීටර්බර්ග් නුවර පුරපති ලෙස කටයුතු කළ අභාවප්‍රාප්ත ඇනටෝලි සොබ්චෙක්ගේ දියණියයි. ඇනටෝලි සොබ්චෙක් 1990 දශකයේදී රුසියානු කේ.ජී.බී. රහස් ඔත්තු සේවයේ දක්ෂ නිලධාරියකුට සිය පරිපාලනයේ රැකියාවක් සොයා දුන්නේය. එම නිලධාරියා ව්ලැදිමීර් පුටින්ය. පුටින්ට ගුරුහරුකම් කියා දුන්නේ ඇනටෝලි සොබ්චෙක් යැයි රුසියානු පුවත් සේවා වාර්තා කර තිබේ.
විපක්ෂය නියෝජනය කළත්, සේනියා සොබ්චැක් රුසියානු වැසියන් අතරේ ජනප්‍රිය තැනැත්තියකි.

ඇය එරට රූපවාහිනී රියැලටි වැඩසටහන් මෙහෙයවන්නීය. කවුරුත් මවිතයට පත් කරමින්, රුසියානු ජනපති පුටින්ට එරෙහිව යමින් සේනියා සොබ්චැක් ප්‍රගතශීලී පක්ෂය සමඟ එක් වූයේ 2012 වසරේය.

බී.බී.සී.

 


RECOMMEND POSTS