පැරැණි ඡායාරූපය ගැන කැනඩා අගමැති දුක්වෙයි



මීට වසර 18 කට පෙර සිදුවුණු සිදුවීමක ඡායාරූපයක් සමාජ ජාල සහ කැනඩා පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීම හේතුවෙන් ඒ ගැන කනගාටුව පළ කර සමාව ඉල්ලීමට කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝට සිදුවී ඇත.

වසර 18 කට පෙර 2001 දී, ඒ වනවිට 29 හැවිරිදි වියෙහි පසුවුණු ජස්ටින් ටෘඩෝ, වෙස්ට් පොයිට්න් ග්‍රේ නමැති පෞද්ගලික උසස් පාසලේ ගුරුවරයකු ලෙස රැකියාව කළේය.

පාසලේ අරාබි තේමාවක් යටතේ සාදයක් පැවැත්වුණු අතර, ඊට රැස්වූ පිරිස් පුරාණ අරාබි විලාසිතාවලින් සැරැසී සිටියහ. ටෲඩෝ සාදයට එක්වූයේ කල්ලකු මෙන්, සිරුර කළු පැහැයෙන් වර්ණ ගන්වා ගනිමිනි.

ටෲඩෝ කල්ලකු ලෙස මෙසේ හැඩවී සිටීම කළු ජාතිකයන්ට ඔහු කළ අපහාසයක් යැයි ටෲඩෝගේ දේශපාලන ප්‍රතිවාදීහු චෝදනා නගති. මේ නිසා එම සිදුවීම ගැන කනගාටුව පළ කරමින්, ඒ ගැන සමාව ඉල්ලීමට අගමැති ටෲඩෝ ට සිදුවිය.

කැනඩා මහ මැතිවරණය ලබන ඔක්තෝබර් 21 වැනිදා පැවැත්වෙයි. ප්‍රතිවාදී දේශපාලන පක්ෂ ටෲඩෝට ‘මඩ ගැසීමට’ උත්සාහ ගන්නේ එහෙයිනි. අද 47 හැවිරිදි ටෲඩෝ කැනඩා අගමැති ධුරයට පත් වූයේ 2015 දී. එම මහ මැතිවරණයෙන් ටෲඩෝ සහ ඔහුගේ පක්ෂය අති විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය.

ටොරොන්ටෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS