පරණ මතක අලුත් කරන ‘ටර්මිනේටර්: ඩාර්ක් ෆේට්’



හොලිවුඞ් සිනමාවේ ක්‍රියාදාම චිත්‍රපට අතර කැපී පෙනෙන චිත්‍රපට මාලාවක් ලෙස ‘ටර්මිනේටර්’ චිත්‍රපට හැඳින්විය හැකිය. ඒ අතරින් හයවැනි ටර්මිනේටර් චිත්‍රපටය ලෙස ‘ටර්මිනේටර් ඩාර්ක් ෆේට්’ අද (1) සිට ලොව පුරා තිරගත වෙයි.

‘ටෙර්මිනේටර්’ පළමු චිත්‍රපටය තිරගත වූයේ 1984 වසරේදීය. එය අද වනවිට හොලිවුඩයේ සුපිරි අධ්‍යක්ෂවරයකු වන ජේම්ස් කැමරන්ගේ අධ්‍යක්ෂණයක් විය. 80 සහ 90 හොලිවුඞ් ක්‍රියාදාම නළුවකු ලෙස ආනෝල්ඞ් ස්වාසනගර්, අනාගතයේ සිට අතීතයට පැමිණෙන ටර්මිනේටර් වරයාගේ චරිතයට පණ පොවමින් රසික හදවත් දිනාගත්තේය.

1984 ‘ටර්මිනේටර්’ චිත්‍රපටය, හොලිවුඞ් සිනමාවේ විශේෂ ප්‍රයෝග පිරි කැපී පෙනෙන විද්‍යා ප්‍රබන්ධයක් ද වෙයි. එම චිත්‍රපටයේ දෙවැන්න ලෙස ‘ටර්මිනේටර්: ජජ්මන්ට් ඬේ’ තිරගත වූයේ 1991 දීය. මෙය ද ජේම්ස් කැමරන්ගේ අධ්‍යක්ෂණයක් විය. පරිගණකවෙන් හපන්කම් පෙන්වීමට නොහැකි වූ යුගයක, පැවැති පරිගණක තාක්ෂණය යොදා ගනිමින් කළ විශිෂ්ට නිර්මාණයක් ලෙස ‘ටර්මිනේටර්: ජජ්මන්ට් ඬේ’ සැලකෙයි.

‘ටර්මිනේටර්: ජජ්මන්ට් ඬේ’ චිත්‍රපටයේ ටී 800 නමින්, ආර්නෝල්ඞ් ස්වාසනෙගර් චරිත නිරූපණය කරන ටර්මිනේටර්වරයා අනාගතයේ සිට අතීතයට පැමිණෙන්නේ, ජෝන් කොනර් නමැති පොඞ්ඩා ආරක්ෂා කිරීමටය. ටී 800 ටර්මිනේටර් වීරයකු වන අතර නපුරා වන්නේ සුවිශේෂී දියර ලෝහ වර්ගයකින් නිර්මාණය වුණු ටී 1000 ටර්මිනේටර්ය. රොබට් පැට්රික් මෙම ටර්මිනේටර්වරයාගේ චරිතයට පණ පොවයි.

ටර්මිනේටර් 1 සහ 2 චිත්‍රපටවල සේරා කොනර්ගේ චරිතයට පණ පොවන්නේ ලින්ඩා හැමිල්ටන් ය. ලින්ඩා ජේම්ස් කැමරන්ගේ පෙම්වතිය සහ බිරිඳ වූයේ ද ටර්මිනේටර් චිත්‍රපට නිසාය. දෙදෙනා පසුව දික්කසාද වූහ.

කෙසේ නමුත් වසර ගණනාවකට පසු නවතම ටර්මිනේටර් චිත්‍රපටය වන ‘ටර්මිනේටර්: ඩාක් ෆේට්’ සඳහා ලින්ඩා හැමිල්ටන් සහ ජේම්ස් කැමරන් එක්වීම සුවිශේෂී සිදුවීමකි.

1984 සහ 1991 වසරේ තිරගත වුණු ‘ටර්මිනේටර්’ චිත්‍රපටවලින් පසු, නිර්මාණය වූ ටර්මිනේටර් චිත්‍රපට සාර්ථක නොවිණි. ඒවා කිසිවකට ජේම්ස් කැමරන් හෝ ලින්ඩා හැමිල්ටන් හෝ දායක නොවිණි. ආනෝල්ඞ් ස්වාසනගර් එම චිත්‍රපටවලට සම්බන්ධ වුවත්, ඒවා මුල් චිත්‍රපට දෙක තරම් විචාරකයන්ගේ පැසැසුමට ලක් නොවිණි.

ජේම්ස් කැමරන්, ‘ටර්මිනේටර්: ද ඩාර්ක් ෆේට්’ චිත්‍රපටයට සම්බන්ධ වන්නේ නිෂ්පාදනයෙන් සහ තිර රචනයෙනි. ‘ටර්මිනේටර්: ද ඩාර්ක් ෆේට්’ අධ්‍යක්ෂවරයා ඩෙඞ්පූල් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන ටිම් මිලර්ය. ජේම්ස් කැමරන් මැදිහත් වීම නිසා, ‘ටර්මිනේටර්: ද ඩාර්ක් ෆේට්’ සාර්ථක බොක්ස් ඔෆිස් චිත්‍රපටයක් වනු ඇතැයි සිනමා විචාරකයෝ කල් තියා අනාවැකි පළ කළහ. එම අනාවැකි නිවැරදි බවත් මේ වනවිටත් චිත්‍රපටය විචාරකයන්ගේ පැසැසුමට ලක්වී ඇති බව හොලිවුඞ් පුවත් සේවා වාර්තා කරයි.

‘ටර්මිනේටර්: ද ඩාර්ක් ෆේට්’, පළමු සහ දෙවැනි ටර්මිනේටර් දෙකට සෘජුව සම්බන්ධ වන බවත් ටර්මිනේටර් කතා මාලාව, නව මානයකට ගෙන යෑමට තමන් උත්සාහ ගන්නා බවත් ජේම්ස් කැමරන් පවසා ඇත.

‘ටර්මිනේටර්: ද ඩාර්ක් ෆේට්’ චිත්‍රපටයේ, නපුරු ටර්මිනේටර්වරයා වන්නේ ‘රෙව්9’ ය. ගේබි්‍රයල් ලූනා මෙම ටර්මිනේටර්වරයාගේ චරිතයට පණ පොවයි. ගෙබ්රියල් ලූනා, මාවල් රූපවාහිනී කතා මාලාවක් වන ‘ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඞ්’ කතා මාලාවේ ගෝස්ට් රයිඩර්ගේ චරිතයට පණ පොවමින් ජනප්‍රිය වූ තරුණ නළුවෙකි.

‘රෙව්9’ ටර්මිනේටර්වරයාගේ ඉලක්කය වන්නේ ඩැනී රැමෝස් (නටාලි රියාස්) නමැති තරුණ යුවතියයි. මැය බේරා ගැනීමට අනාගතයේ සිට පැමිණෙන්නේ සුපිරි සෙබළියකි. මැකෙන්සි ඬේවිස් මෙම සෙබළියගේ චරිතයට පණ පොවයි.

‘රෙව්9’ ටර්මිනේටර්වරයාගෙන්, ඩැනී රැමෝස් බේරා ගැනීමට මහලු වියට පත් ටී 800 ටර්මිනේටර් (ආනොල්ඞ්) සහ මහලු වියට පත් සේරා කොනර් (ලින්ඩා හැමිල්ටන්) ඉදිරිපත් වෙයි. ‘රෙව්9’ ටර්මිනේටර්වරයාගේ ඇති විශේෂත්වය නම්, එම ටර්මිනේටර්වරයාට ස්වරූප දෙකක් ලෙස වෙන්වීමට ඇති හැකියාවය.

80 සහ 90 දශකයේ ටර්මිනේටර් රසවිඳි සැමට, පරණ මතකයන් අලුත් කර ගැනීමටත්, අලුත් රසික රසිකාවියටන්ට අලුත් ටර්මිනේටර් චිත්‍රපටයක් නැරැඹීමටත් අවස්ථාව උදා කිරීමට හැකිවුණැයි තමන් විශ්වාස කරන බව අධ්‍යක්ෂ ටිම් මිලර් පවසා ඇත.

ලුසිත ජයමාන්න


RECOMMEND POSTS