ධවල මන්දිරය තහනම්



ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවයේ ප්‍රවීණ මාධ්‍යවේදී ජිම් අකොස්තාට ධවල මන්දිරය තහනම් කිරීමට ජනාධිපති ආරක්ෂක අංශය තීරණය කර ඇත.

සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශය මාධ්‍යවේදී අකොස්තාට මෙම තහනම පනවන ලද්දේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදෙස් පරිදිය. මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිපල නිකුත් වීමෙන් පසු, ට්‍රම්ප් මාධ්‍ය හමුවක් කැඳවීය. එම මාධ්‍ය හමුවට, සියලුම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් අවසරලත් මාධ්‍යවේදීහු සහභාගී වූහ.

ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දී, මයික්‍රෆෝනය අතට දුන් විට ජිම් අකොස්තා දිගට හරහට ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න අසන්න විය. ට්‍රම්ප් දුන් පිළිතුරුවලින් අකොස්තා සෑහීමකට පත් නොවිණි.

ලතින් ඇමෙරිකා රටවලින් ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණියකයන් මුල්කොට ගනිමින්, ට්‍රම්ප්ගේ දළදඬු ක්‍රියාමාර්ග ජිම් අකොස්තා ප්‍රශ්න කරන්න විය.

ට්‍රම්ප් ‘දැන් ඇති. වෙන කෙනකුට අවස්ථාව දෙන්න’ යැයි කියද්දී, ට්‍රම්ප් සහ අකොස්තා අතරේ බහින්බස්වීමක් සිදුවිය. ඒ අතරේ, ධවල මන්දිර කාර්ය මණ්ඩල සහායිකාවක, අකොස්තා අසලට පැමිණ මයික්‍රෆෝනය ලබා ගැනීමට තැත් කරද්දී, අකොස්තා එම තරුණිය පැත්තකට කරයි. මේ සියල්ල සී.එන්.එන්. ඇතුළු ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය.

ට්‍රම්ප් උරණ වන අයුරින් දිගින් දිගට ප්‍රශ්න ඇසීමත්, ධවල මන්දිර සහායිකාව පැත්තකට කිරීමට අකොස්තා කටයුතු කිරීමත් හේතුවෙන් ධවල මන්දිරයට පැමිණීමට ලබා දී තිබුණු විශේෂ අවසර පත්‍රය අවලංගු කිරීමට සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශය කටයුතු කළේය.

එහි රැස්ව සිටි සෙසු මාධ්‍යවේදීන්, ඔවුන්ගේ ට්විටර් ගිණුම් හරහා පණිවුඩ නිකුත් කරමින් අකොස්තාගේ අවසර පත්‍රය අවලංගු කිරීම සම්බන්ධයෙන් විරෝධය ඵල කර ඇත. ඔවුන් හැමෝම එකසේ පවසා ඇත්තේ අකොස්තා කිසිදු වරදක් නොකළ බවය. කෙසේ නමුත් ජනාධිපති ට්‍රම්ප්, අකොස්තා හඳුන්වා දී ඇත්තේ ‘සැබෑ මාධ්‍යවේදියකු නොව, ජනතා සතුරකු’ ලෙසය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS