ඩිස්කවරි නාළිකාව මෝදි තරුවක් කරයි



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහභාගී වූ ‘මෑන් වර්සස් වයිල්ඞ්’ ත‍්‍රාසජනක කතා මාලාවේ නවතම වැඩසටහන 12 දා රාති‍්‍රයේ විකාශය විය. ඒ, ඩිස්කවරි නාළිකාව ඔස්සේය.

‘මෑන් වර්සස් වයිල්ඞ්’ යනු ඩිස්කවරි නාළිකාවේ අතිශය ජනපි‍්‍රය ත‍්‍රාසජනක වාර්තා වැඩසටහන් පෙළකි.  මෙය ලොව කා අතරේත් ප‍්‍රසිද්ධියට පත් වී තිබේ.

‘මෑන් වර්සස් වයිල්ඞ්’ වැඩසටහනට අගමැති මෝදි එක්වන බවට ඩිස්කවරි නාළිකාව හරහා පමණක් නොව, ඉන්දීය මාධ්‍ය හරහා ද පසුගිය දින කීපය පුරාවට විශාල ප‍්‍රසිද්ධියක් ලැබුණි.

එහෙයින්, ඉන්දියානුවන් පමණක් නොව, ලොව පුරා ‘මෑන් වර්සස් වයිල්ඞ්’ රසික රසිකාවියෝ මහත් උනන්දුවෙන් වැඩසටහන නැරැඹූහ.

‘මෑන් වර්සස් වයිල්ඞ්’ වැඩසටහන් පෙළ මෙහෙයවීම සිදු කරනු ලබන්නේ බෙයාර් ගි‍්‍රල්ස්ය.

‘මෑන් වර්සස් වයිල්ඞ්’ කතා මාලාව මෙහෙයවන 45 හැවිරිදි, බෙයාර් ගි‍්‍රල්ස් විශ‍්‍රාම ගිය බි‍්‍රතාන්‍ය හමුදා සොල්දාදුවෙකි.

‘මෑන් වර්සස් වයිල්ඞ්’ කතා මාලාව හරහා ගි‍්‍රල්ස් නරඹන්නන්ට කියා දෙන්නේ, කාන්තාරයක හෝ ඝන වනාන්තරයක හෝ  ඕනෑම පරිසරයක දිවි රැක ගන්නා අයුරුය.

අගමැති මෝදි, ගි‍්‍රල්ස් සහ කැමරා කණ්ඩායම එක් වී, සීතල සහ වර්ෂාව නොතකා, ව්‍යාඝ‍්‍රයන් ද ඇතුළු වන සතුන්ගෙන් පිරි ඉන්දිායාවේ උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ ජිම් කෝබට් ජාතික වන රක්ෂිතයේ සිදු කරන වික‍්‍රමය  ‘මෑන් වර්සස් වයිල්ඞ්’ වැඩසටහනට පාදක වෙයි.

ගමනේ යෙදෙන අතරතුරේ ගි‍්‍රල්ස්, ඉන්දීය අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න අසයි. මෝදි ඊට ඉංගී‍්‍රසියෙන් පමණක් නොව, හින්දියෙන් ද පිළිතුරු දෙයි. ගුජරාඨ මහ ඇමැති ධුරය හොබවද්දී පමණක් නොව, ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ලෙස ද මෝදි නිවාඩු නොගෙන රාජකාරියට කැපවුණු ජීවිතයක් ගත කරයි.

‘මෑන් වර්සස් වයිල්ඞ්’ වැඩසටහනට එක්වෙමින් මෝදි කියා සිටියේ වසර 18 කට පසු තමන් පළමු වරට එම වැඩසටහනට සහභාගීවීමට කෙටි නිවාඩුවක් ගත් බවය.

‘මෑන් වර්සස් වයිල්ඞ්’ කතා මාලාව ඩිස්කවරි නාළිකාව විසින් නිෂ්පාදනය කරයි. මෙය විකාශය වන්නේ 2006 වසරේ සිටය. ගි‍්‍රල්ස්, ලොව ජනපි‍්‍රය පුද්ගලයන් සහ රාජ්‍ය නායකයන් ද එක් කර ගනිමින්, වීර වික‍්‍රමවල යෙදෙයි. 2015 දී බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරද්දී, ඔහු ද ගි‍්‍රස්ල්ගේ වැඩසටහනට එක් විය. ඔබාමා සහභාගී වූ ‘මෑන් වර්සස් වයිල්ඞ්’ වැඩසටහන ද අතිශය ජනපි‍්‍රය විය.

නවදිල්ලියේදීය (එන්.ඞී.ටීවී.)


RECOMMEND POSTS