ට්‍රම්ප්ට මොළේ අමාරුවක් නෑ



ඇමෙරිකා ජනපති ට්‍රම්ප් හොඳ නිරෝගීව සිටින බවත් ඔහුට කිසිදු රෝගී තත්ත්වයක් නැති බවත් ධවල මන්දිරය කියයි.

මේ බව පවසා ඇත්තේ ට්‍රම්ප් මාධ්‍ය ලේකම් සේරා සැන්ඩර්ස්ය. ඇය වැඩි දුරටත් කියා සිටියේ, ට්‍රම්ප්ගේ සම්පූර්ණ වෛද්‍ය වාර්තා ලබන වසරේ ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු කරන බවය.

ඇමෙරිකා ජනපතිවරුන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීම සාමාන්‍ය ක්‍රියාවලියකි.

ලබන වසරේ ට්‍රම්ප් ද සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරෙනු ඇති බවත් එම පරීක්ෂණ සිදුවනු ඇත්තේ ‘වෝටර් රීඞ්’ ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේදී බවත් සැන්ඩර්ස් පවසා ඇත.

ට්‍රම්ප්ගේ මානසික සෞඛ්‍ය පිරිහී ඇති බවටත්, ඔහු ඩිමෙන්ෂියා සහ ඇල්ෂයිමර් රෝගියකු බවටත් රාවයක් පැතිර යන්න පටන්ගෙන තිබේ. ඒ, ඇමෙරිකන් මාධ්‍ය නාළිකා ඔස්සේය.

මීට හේතුවක් වූයේ පසුගිය දා, ඊශ්‍රායලය සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශයයි.

ට්‍රම්ප්, ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසිලම ලෙස පිළිගනිමින් අදාළ ලියවිල්ලට අත්සන් තැබුවේය. ඉන්පසු මාධ්‍ය හමුවක් පවත්වමින් විශේෂ ප්‍රකාශයක් කළේ ඒ බව දැනුම් දෙමිනි.

මෙම ප්‍රකාශය අතරතුරේ ට්‍රම්ප්ට වචන පැටළෙන්න පටන් ගත්තේය. හිටිහැටියේ ඔහුට වචන අමතක වී ගල් ගැසුණේය. මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප් එදා කුමක් කීවාදැයි ඔහුවත් නොදැන සිටි බවය. ඒ අනුව, ට්‍රම්ප් මානසික රෝගියකු ලෙස පෙන්වා දීමට ද ට්‍රම්ප් විරෝධී ඇමෙරිකන් පුවත් සේවා උත්සාහ කළේය.

ට්‍රම්ප් මේ වනවිට 71 හැවිරිදි වියෙහි පසුවෙයි. ඇමෙරිකානුවන්ගේ පරමාෂුය ලෙස සැළකෙන්නේ 72 යැයි ද ඇතැම් පුවත් සේවා පෙන්වා දී ඇත.

පසුගිය 2016 වසරේ දී ඇමෙරිකන් ජනපති ධුරයට ඉදිරිපත් වෙද්දී ට්‍රම්ප්ගේ වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධියට පත් කෙරුණි. '

එම වාර්තා අනුව ට්‍රම්ප්ගේ රුධිර පීඩනය 116/70 කි. රුධිරයේ සීනි මට්ටම 99 කි. සම්පූර්ණ කොලස්ට්‍රෝල් ප්‍රමාණය 169 කි.

ට්‍රම්ප්ගේ පවුලේ කිසිවකුට හදවත් රෝග, දියවැඩියාව හෝ මොළයේ ආබාධ කිසිවක් නැති බව ද වෛද්‍ය වාර්තාවේ දැක්වෙයි.

(ඬේලිමේල්)

 


RECOMMEND POSTS