කොරෝනා වැලඳුණු සුරියා රෝහලේ



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගත කළ ජනප්‍රිය ඉන්දීය සුපිරි නළු සුරියාට වෛද්‍ය ප්‍රතිකාර ලැබෙමින් පවතින බවත්, ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් වාර්තා වේ.

‘කොවිඩ් 19 ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මට අවශ්‍ය ප්‍රතිකාර ලැබෙනවා. මගේ තත්ත්වය යහපත්. අපේ ජීවිත පාලනය කරන්න වයිරසයට ඉඩ දෙන්න බැහැ. ඒත් වයිරසයෙන් ආරක්ෂා වෙන්න අප සැමවිටම සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්න ඕනෑ. වයිරසයට යටත් වෙන්න හොඳ නැහැ. මට උපකාර ලබා දෙන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාට මා කෘතඥ වෙනවා.’ යැයි සුරියා සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා ඇත.

සුරියාගේ සමීපතම මිතුරකු ද වන සිනමාකරු රාජේෂ්කාර් පණ්ඩියාන්, සූර්යාගේ රසික රසිකාවියන් වෙනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ සූරියා ගැන බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවය. සුරියා රෝගී වූ බව දැනගත් සැණින් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමට ඔහුගේ රසික රසිකාවියෝ බොහෝ දෙනෙක් කටයුතු කළහ.

සූරියා අවසන් වරට දකින්න ලැබුණේ සුධා කොන්ගාරාගේ ‘සෝරාරායි පෙට්රු‘ චිත්‍රපටයෙනි. එය ඇමසන් ප්‍රයිම් වීඩියෝ නාලිකාව හරහා එළිදක්වා තිබේ. ‘ඩෙකාන් ගුවන් සේවය‘ නමැති මිල අඩු ඉන්දීය ගුවන් සේවය ආරම්භ කළ ජී.ආර්. ගෝපිනාත් මුහුණ දුන් සත්‍ය සිදුවීම් ඇසුරින් ‘සෝරාරායි පෙට්රු‘ නිර්මාණය කර ඇත. ‘සෝරාරායි පෙට්රු‘ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා පමණක් නොව, එහි නිෂ්පාදකවරයා වන්නේ ද සූරියා ය.

ද හින්දු ඇසුරිනි


RECOMMEND POSTS