කේටිගේ කොරෝනා



චීනයෙන් ඇරැඹි ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඇමෙරිකාවේ ඔඩුදුවද්දී, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිර කොරෝනා වයිරස කාර්ය සාධක බලකාය ස්ථාපිත කළේය.

ට්‍රම්ප් එම  එම කාර්ය සාධක බලකායේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කළේ ඇමෙරිකන් උප ජනාධිපති මයික් පෙන්ස් ය. කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස පත් කළේ 1984 වසරේ සිට ඇමෙරිකානු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය ඇන්තනි ෆවුචි ය.

අද වනවිට කොරෝනා වයිරස කාර්ය සාධක බලකායේ සමාජිකයන් කිහිප දෙනකු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස තහවුරු වී ඇති අතර, 79 හැවිරිදි වෛද්‍ය ඇන්තනි ෆවුචි ද දින 14 ක් සඳහා නිරෝධායනයට ලක් කර අවසන්ය. ඒ, ඔහු ද ආසාදිතයකු යැයි සැක කරමිනි.

චීනයෙන් පිට මේ වනවිට වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් වර්තා වන්නේ ඇමෙරිකාවෙනි. වැඩිම මරණ වාර්තා වන්නේ ද ඇමෙරිකාවෙනි.

ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්, වයිරසය මර්දනයට නිසි පියවර නොගත්තේ යැයි ඇමෙරිකන් ජනතාව පමණක් නොව, හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ද චෝදනා නගා ඇත. පසුගිය 10 වැනිදා වනවිට ධවල මන්දිරයෙන් තවත් කොවිඞ් 19 ආසාදිතයන් දෙදෙනකු හමුවිය. ඒ අනුව, ධවල මන්දිරයේ කොවිඞ් 19 ආසාදිතයන් ගණන 6 දක්වා ඉහළ ගියේය. ධවල මන්දිරයෙන් හමුවුණු නව ආසාදිතයගෙන් කෙනකු ට්‍රම්ප්ගේ මෙහෙකරුවෙකි. අනෙක් ආසාදිත තැනැත්තිය කේටි මිලර් ය.

කේටි මිලර් යනු ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම්වරියයි.
29 හැවිරිදි කැතරින් (කෙටියෙන් කේටි) රෝස් වොල්ඞ්මාන්, විවාහ වූයේ පසුගිය 2019 වසරේ සැප්තැම්බරයේය. ඇගේ සැමියා ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ස්ටීවන් මිලර්ය. කැතරින් වොල්ඞ්මාන්, කැතරින් (කේටි) මිලර් වූයේ ඒ අනුවය.

ෆ්ලොරීඩාවේ ෆෝට් ලෝඩර්ඬේල් හි පදිංචිකාරියක වන කේටි, ධවල මන්දිරයේ තවත් උපදේශිකාවක වන ඇලීසියා ෆාරාගේ සහායිකාව ලෙස වසර කීපයක් කටයුතු කළාය. කේටි මිලර්, උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම්වරය ලෙස උසස් වීමක් ලැබුණේ විවාහ වීමෙන් පසු පසුගිය 2019 ඔක්තෝබරයේය.

කේටී මිලර් ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වූයේ පසුගිය සිකුරාදා (8) ය. ඊට දින කීපයක් තිස්සේ ඇයට කැස්සක් පැවැති අතර, ඇය කහිමින් මාධ්‍යවේදීන් හමුවට ගොස් තමන්ට වයිරසය වැලැඳී නැති බව කියමින් විහිළු කළේ කළ බව ද පැවැසෙයි. කේටි මෙසේ කහිමින් විහිළු කර ඇත්තේ, උප ජනපති පෙන්ස් සහ සෙසු ධවල මන්දිර කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ද පිරිවරා ගනිමින්, වර්ජීනියාවේ වැඩිහිටි නිවාස කිහිපයක නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාවේදීය.

පෙන්ස් හෝ කේටී හෝ පෙන්ස්ගේ කාර්ය මණ්ඩලයේ වෙන කිසිවකු හෝ මුහුණු ආවරණ පැලඳ සිට නැත. වාසනාවකට මුහුණු ආවරණ පැලඳ සිට ඇත්තේ එම අවස්ථාවට පැමිණි, කේටි සමීපයට ගිය මාධ්‍යවේදීන් පමණය.

කේටි කොවිඞ් 19 ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ ධවල මන්දිර කාර්ය මණ්ඩලය මුහුණු ආවරණ පැලැදීම අනිවාර්ය යැයි සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලැබුණි. ඒ පසුගිය 12 වැනිදාය. ඒ අනුව, මුහුණු ආවරණ පැලැඳීම අනිවාර්ය වූයේ ධවල මන්දිරයේ ‘වෙස්ට් විංග්’ කොටසේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට සහ එහි පැමිණෙන පිරිසටය.

ඇමෙරිකන් ජනපතිවරයාගේ ප්‍රධාන කාර්යාලය වන ඕවල් කාර්යාලය, කැබිනට් කාමරය, රූස්වෙල් කාමරය සහ හදිසි සාකච්ඡා පැවැත්වෙන කාමරය පිහිටා ඇත්තේ ධවල මන්දිරයේ වෙස්ට් විංග් යනුවෙන් හැඳින්වෙන මෙම කොටසේ ය. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පමණක් නොව, උප ජනාධිපති මයික් පෙන්ස් ද ‘කොවිඞ් 19’ පරීක්ෂණ සඳහා නිරන්තරයෙන් යොමු කරන අතර, ඔවුන්ට වයිරසය ආසාදනය වී නැති බව වෛද්‍යවරු කියති. 

ධවල මන්දිර කාර්ය මණ්ඩලයට මුහුණු ආවරණ එසේත් නැතිනම් මාස්ක් අනිවාර්ය වුවත්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාස්ක් පලඳින්නේ නැති බවත්, ඔහු ඒ ගැන තැකීමක් නොකරන බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS