කේට් කුමරියගේ නැගණිය යුගදිවියට



බ්‍රිතාන්‍යයේ කේට් මිඞ්ල්ටන් කුමරියගේ නැගණිය 33 හැවිරිදි පිපා මිඞ්ල්ටන් ඊයේ (20) යුග දිවියට පිවිසුණාය.

ඇගේ අත ගත්තේ, දීර්ඝ කාලීන පෙම්වතා වූ 41 හැවිරිදි ජේම්ස් මැතිව්ස්ය. විවාහ මංගල උත්සවය, ඉතා චාමෙට එංගලන්තයේ බර්ක්ෂයර්, ඉංග්ලන්ඞ්ෆීප්ඞ් හි පෞද්ගලික ඉඩමක පිහිටි ශාන්ත මාර්ක් දේවස්ථානයේ පැවැත්විණි. සාදය පැවැත්වූයේ මිඞ්ල්ටන් පවුලේ නිවසේය.

මල් කුමර කුමරියන් අතර කේට් කුමරිය සහ විලියම් කුමරුගේ පුතු තුන් හැවිරිදි ජෝර්ජ් කුමරු සහ දෙහැවිරිදි චාලට් කුමරිය ද සිටියහ.

දඟ කරන්න වුණු පොඞ්ඩන් දෙදෙනා බලා ගැනීම කේට් කුමරියට පමණක් නොව ඔවුන්ගේ ආයම්මාට පවා අසීරු වුණැයි ද බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි. දඟ කරන්න වූ ජෝර්ජ් කුමරුට තරවටු කිරීමට කේට් කුමරියහට සිදුවුණු අවස්ථාවකදී ජෝර්ජ් කුමරු ‘මූණ එල්ලන්’ සිටි බව ද වාර්තා විය.

මංගල උත්සවයට විලියම් කුමරු සහ කේට් මිඞ්ල්ටන් කුමරියට වඩා ඔවුන්ගේ පුතු ජෝර්ජ් කුමරු සහ දියණිය චාලට් කාගේත් අවධානය දිනා ගත්හ.

පිපා මිඞ්ල්ටන්ගේ අත ගත් ජේම්ස් මැතිව්ස් බි්‍රතාන්‍යයේ ජනප්‍රිය මෝටර් රථ ධාවන ශූරයෙකු ද වෙයි. ජේම්ස් කෝටිපති මූල්‍ය ව්‍යාපාරිකයෙකි. බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කළ විලියම් කුමරු, කේට් කුමරිය සහ හැරී කුමරුන්ට අමතරව රාජකීය නොවන සම්භාවනීය අමුත්තෝ රැසක් මංගල උත්සවයට සහභාගී වූහ.

ම්ඞ්ල්ටන් නිවසේ පැමිණි මංගල උත්සවයට මාධ්‍යවේදීන්ට සහ පැපොරාසි කැමරා ශිල්පීන්ට හොරා හැරී කුමරුගේ අලුත් පෙම්වතිය ලෙස සැලකෙන මේගන් මාකෙල් ද පැමිණ සිටියාය. මාකෙල් ඇමෙරිකන් ටෙලි නිළියකි. ඇය පැමිණියේ මිඞ්ල්ටන් නිවසේ පැවැති සාදයටය.

 (ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS