කිරි දෙන ගමන් පනත් කෙටුම්පතක්



සති 14 ක් වයසැති තම සිඟිති දියණිය සමඟ පාර්ලිමේන්තුවේ කටයුතුවල නියැළෙමින්, පනත් කෙටුම්පතක් ද ඉදිරිපත් කිරීමට ඔස්ට්‍රේලියා ෆෙඩරල් පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙනෙටර්වරියක වන ලැරිස්සා වෝටර්ස් පසුගිය දා ක්‍රියා කිරීම ලොව කාගේත් අවධානයට හේතුවක් වී ඇත.

දියණිය අලීයා ජෝයි ට කිරි පොවමින්, පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු ක්වීන්ස්ලන්ඞ් ප්‍රාන්ත සෙනෙටර්වරිය වන්නේ ද ලැරිස්සා වෝටර්ස් යැයි විදෙස් පුවත් සේවා පවසයි.

තමා වාර්තා පිහිටුවීමට හෝ කාගේත් අවධානය දිනා ගැනීමට තම දියණිය පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ නැති බවත්, ඇය බලා ගැනීමට කෙනකු නොමැති නිසාත්, ඇයට මවු සෙනෙහස අවශ්‍ය නිසාත් තමා  ඇය රැගෙන එන බව ලැරිස්සා වෝටර්ස් කියා සිටී.

ලැරිස්සා කිරි දෙන ගමන් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම ආණ්ඩු පක්ෂයේත් ඔස්ට්‍රේලියානු වැසියන්ගේත් සෙසු ලෝක වාසීන්ගේත් පැසැසුමට හේතු වුවත්, ඔස්ට්‍රේලියානු විපක්ෂ මන්ත්‍රීන්වරුන්ගෙන් ඊට හිමිවූයේ යහපත් ප්‍රතිචාර නොවන බව ද විදෙස් පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.

ලැරිස්සා වෝටර්ස් ඔස්ට්‍රේලියාවේ හරිත පක්ෂය නියෝජනය කරන්නීය. ඇය පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ පෙනහළු ආශ්‍රිතව පැතිර යන රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කළ ආකාරය පෙන්වා දෙමිනි.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS