ක්‍රිස්ට උණුසුම් පිළිගැනීමක්



මාවල් චිත්‍රකතා වීරයා තෝර්ගේ චරිතයට පණ පොවන ඕස්ටේලියා නළු ක්‍රිස් හෙම්ස්වර්ත්, නෙට්ෆ්ලික්ස් නාළිකාවේ ‘බයිකුලා’ සහ ‘දරාවී’ චිත්‍රපට දෙකට සම්බන්ධ වී සිටින අතර එහි රූගත කිරීම් වෙනුවෙන් පසුගිය දා මුම්බායි නුවරට පැමිණියේය.

මුම්බායි නුවර රූගත කිරීම් සිදුවෙද්දී ක්‍රිස් හෙම්ස්වර්ත් දැක ගැනීමටත්, ඔහුට අතවනමින් ඔල්වරසන් නැගීමටත් මුම්බායි වැසියෝ දහස් ගණනක් එක් රොක් වී සිටියහ. කෑ කෝ ගසන්න වූ වැසියන් පාලනයට පොලිසිය යෙදවිණි.

නිෂ්පාදන කණ්ඩායම ද සමඟ ක්‍රිස් හෙම්ස්වර්ත් මුම්බායි බලා පැමිණියේ අහමදාබාද් හි රූගත කිරීම්වලින් අනතුරුවය.

‘බයිකුලා’ සහ ‘දරාවී’ රූගත කිරීම් සඳහා ක්‍රිස් ඉන්දියාවට පැමිණියේ රහසේය. කෙසේ නමුත් ඉන්දීය පුවත් සේවා කෙසේ හෝ එය අනාවරණය කර ගත්තේය.

ක්‍රිස්, ඉකුත් දා මුම්බායි පැමිණියේ අලුයම කාලයේය. ඒ, රසික රසිකාවියන්ගේ ඇස නොගැටෙන අයුරිනි. මුම්බායි නුවර සුපිරි හෝටල් දෙකක් ක්‍රිස් වෙනුවෙන් වෙන් කරනු ලැබ තිබුණි.

‘බයිකුලා’ හි රූගත කිරීම් සිදුවූයේ තවමත් ඉදිවෙමින් පවතින නරිමාන් පොයිට්හි මුහුද දෙසට මුහුණලා ඇති හෝටලයේය. ක්‍රිස් හෙම්ස්වර්ත් සමඟ රන්දීප් හෝඩා ද මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වන බව ද වාර්තා වේ.

ලුසිත ජයමාන්න
මුම්බායි නුවර සිට


RECOMMEND POSTS