ක්ලින්ට් ඊ්ස්ට්වුඞ් ට 90 ක්



‘ෆිස්ට් ෆුල් ඔෆ් ඩොලර්ස්’, ‘ෆිව් ඩොලර්ස් මෝ’, සහ ‘ද ගුඞ් බෑඞ් ඇන්ඞ් අග්ලි’ යන ‘ඩොලර්’ ගොපළු චිත්‍රපට මාලාව හරහාත් ඉන්පසු ‘ඩර්ටි හැරී’ චිත්‍රපට මාලාව පහරහාත් රසික හදවත් දිනා ගනිමින්, පසුව සම්මානනීය නළුවකු ලෙසත් සම්මානනීය අධ්‍යක්ෂවරයකු ලෙසත් විචාරක පැසැසුමට පාත්‍ර වූ ක්ලින්ට් ඊස්ට්වුඞ් අද (31) සිය 90 වැනි උපන් දිනය සමරයි.

නළුවකු සහ අධ්‍යක්ෂවරයකු පමණක් නොව ක්ලින්ට් ඊස්ට්වුඞ්  සංගීතඥයෙකි. ඇමෙරිකන් දේශපාලනයට සම්බන්ධ ප්‍රබලයෙකි. ව්‍යාපාරිකයෙකි. 1930 මැයි 31 වැනිදා සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ දිළිඳු පවුලක උපන් ක්ලින්ට් ඊස්ට්වුඞ්, සාර්ථකත්වය කරා ළඟා වූයේ  1959 වසරේ ‘රෝහයිඞ්’ නමැති රූපවාහිනී ගොපළු කතා මාලාවට හරහාය.

ක්ලින්ට් ඊස්ට්වුඞ් ජාත්‍යන්තර සිනමා ලෝලීන්ගේ ආදරය දිනා ගත්තේ 1964 වසරේ තිරගත වීම ඇරැඹුණු ඉතාලි සිනමා අධ්‍යක්ෂ සර්ගියෝ ලියොන්, ස්පාඤ්ඤයේ දී රූගත කළ ‘ෆිස්ට් ෆුල් ඔෆ් ඩොලර්ස්’, ‘අ ෆිව් ඩොලර්ස් මෝ’, සහ ‘ද ගුඞ් බෑඞ් ඇන්ඞ් අග්ලි’ චිත්‍රපට ත්‍රිත්වයෙනි.

‘අ ෆිව් ඩොලර්ස් මෝ’, සහ ‘ද ගුඞ් බෑඞ් ඇන්ඞ් අග්ලි’ චිත්‍රපට තිරගත වූයේ 1965 සහ 1966 වසරවලදීය. මෙම චිත්‍රපට ත්‍රිත්වයේ ඊස්ට්වුඞ් පණ පොවන්නේ ‘නමක් නැති’ ගොපළු වීරයකුගේ චරිතයට ය. ‘නමක් නැති ගොපළු වීරයා’ ලෙස ඊස්ට්වුඞ් කරන රංගනය එදා මෙදා සදා අමරණීය එකකි.

1960, 1970 සහ 1980 දක්වා හැරී කලහැන් නමැති දලදඬු පොලිස් නිලධාරියාගේ චරිතය හරහා ද ක්ලින්ඞ් ඊස්ට්වුඞ් ජනප්‍රිය විය. හැරී කැලහැන්ගේ චරිතය පළමුවෙන් ප්‍රේක්ෂකයන් අතරට ගියේ ‘ඩර්ටි හැරී’ චිත්‍රපටයෙනි. ක්ලින්ඞ් ඊස්ට්වුඞ් ක්‍රියාදාම නළුවකු ලෙස ජනප්‍රිය විය.

1998 වසරේ ‘අන්ෆොගිවන්’, 2004 වසරේ ‘මිලියන් ඩොලර් බේබි’ ඊස්ට්වුඞ්ගේ කැපී පෙනෙන සිනමා නිර්මාණ ලෙස සැලකෙයි. රංගනයෙන් දායක වූවාට අමතරව, ‘මිලියන් ඩොලර් බේබි’ අධ්‍යක්ෂණය කළේ ද ක්ලින්ට් ඊස්ට්වුඞ්ය. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස ‘මිලියන් ඩොලර් බේබි’ ඔස්කාර් සම්මානයට පාත්‍ර විය. මේ වනවිට ක්ලින්ඞ් ඊස්ට්වුඞ් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ගණන 40 කට වැඩිය. අවුරුදු 70 පසු කළ ක්ලින්ට් ඊස්ට්වුඞ් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට රැසක් හොලිවුඞ් සිනමා විචාරකයන් බොහෝ දෙනකුගේ පැසැසුමට ලක් වී ඇත.

හොලිවුඩයෙන් පමණක් නොව, විදෙස් සිනමා සම්මාන රැසකින් ක්ලින්ට් ඊස්ට්වුඞ් සම්මාන දිනා ඇත. ක්ලින්ට් ඊස්ට්වුඞ් දෙවරක් විවාහ වූ අයෙකි. පුතුන් දෙදෙනක් දියණියෝ දෙදෙනෙක් ඔහුට සිටිති. දියණිය ඇලිසන් ඊ්ස්ට්වුඞ් සිනමාවට සම්බන්ධය. ඇය අධ්‍යක්ෂවරියකි. පුතු ස්කොට් ඊ්ස්ට්වුඞ් අද හොලිවුඩයේ සිටින නැගී එන යොවුන් නළුවෙකි.

(හොලිවුඞ් පුවත් ඇසුරිනි)


RECOMMEND POSTS