ඊෂා අම්බානිගේ මංගල්‍යය අනිද්දා



ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන මුකේෂ් අම්බානිගේ දියණිය ඊෂා අම්බානිගේ විවාහ මංගලෝත්සවය අනිද්දා (12) අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනු ඇත.

ඊෂා අම්බානිගේ අත ගනු ඇත්තේ ආනන්ද් පිරමාල් ය. මොහුගේ පියා ද ඉන්දියාවේ ප්‍රකට ධන කුවේරයෙකි. විවාහ උත්සවයට පෙර පසුගිය දා සංගීත ප්‍රසංගයක් පැවැත්විණි. මෙම සංගීත ප්‍රසංගය සහ විශේෂ උත්සවයට ඇමෙරිකා පොප් ගායිකා බියොන්සේ ද සහභාගි වූහ.

පසුගිය සති අන්තයේ පැවැත්වුණු ප්‍රියංකා චොප්රා සහ අමෙරිකානු ගායක නික් ජෝනාස්ගේ විවාහ උත්සවයට ඊෂා අම්බානි එක් වූවාය. ඒ, දෙවැනි මනාලිය ලෙසිනි. එපමණක් නොව, අම්බානි පවුල පසුගිය දා  දීපිකා පදුකෝන් සහ රන්වීර් සිංගේ මංගල උත්සවයට ද සහභාගි වූහ.

ඊෂා අම්බානිගේ මංගල උත්සවය ඉන්දියාවේ ධනවත් ම සහ උත්කර්ෂවත් ම විවාහ උත්සවයක් වනු ඇති අතර, ඊට ඇමෙරිකා හිටපු රාජ්‍ය ලේකම්වරියක මෙන්ම ජනාධිපති ආර්යාවක ද වන හිලරි ක්ලින්ටන් පමණක් නොව, මාධ්‍ය ලෝකයේ දැවැන්ත චරිතයක් වන අරියානා හෆින්ටන්, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් සහ ඉන්දීය කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ලක්ෂ්මී මිත්තල් ද ආරාධනා ලැබ සහභාගී වීමට සූදානමින් සිටින බව ද බොලිවුඩ් පුවත් සේවා පෙන්වා දෙයි.

මංගල උත්සවයේ ආරාධිතයින් රැගෙන ඒම සඳහා වෙන් කර ඇතැයි පැවැසෙන විශේෂ ගුවන් යානා සංඛ්‍යාව 100කට අධිකය. රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්හි කළමනාකරණ අධ්‍යක්ෂවරයා වන මුකේෂ් අම්බානිගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 47කි.

(ඉන්දීය පුවත් සේවා)


RECOMMEND POSTS