ඇවෙන්ජර්ස් වික්‍රමයට සති 7 යි



මෙම වසරේ කවුරුත් පුලපුලා බලා සිටින හොලිවුඩ් සිනමා නිර්මාණය වන්නේ ඇවෙන්ජර්ස් වීරයන්ගේ අවසන් වික්‍රමය ‘ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම්’ චිත්‍රපටයයි.

‘ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම්’ අප්‍රේල් 26 වැනිදා සිට ලොව පුරා තිරගත වීමට නියමිත අතර, මේ වනවිටත් අප්‍රේල් 26 වැනිදා පළමු දර්ශනය නැරැඹීමට ලොව රටවල් රැසක ඇවෙන්ජර්ස් රසික රසිකාවියන් ආසන වෙන් කරවාගෙන ඇත.

‘ඇ​වෙන්ජර්ස් එන්ඩ්ගේම්’ චිත්‍රපටයේ තෙවැනි ට්‍රේලරය එසේත් නැතිනම් පූර්ව ප්‍රචාරක පටය ඊයේ (14) එළිදැක්විණි. චිත්‍රපටයේ කතාව කුමක් විය හැකිදැයි යන්න සම්බන්ධයෙන් ඉඟි කීපයක් එම ට්‍රේලරය හරහා දකින්න ලැබේ.

‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර්’ චිත්‍රපටය පසුගිය වසරේ තිරගත විය. ඒ ආදායම් වාර්තා බිඳ දමමින් පමණක් නොව, මාවල් චිත්‍රකතා ලෝලීන් අමන්දානන්දයට පත් කරමිණි.

චිත්‍රපටය අවසන් වෙද්දී, තේනෝස් නමැති නපුරු ටයිටන්වරයා ජය ගත්තේය. ඒ, ‘ඉන්ෆිනිටි ස්ටෝන්ස්’ නමින් හැඳින්වෙන විශ්වය ආරම්භයේ දී බිහිවුණැයි පැවැසෙන බලගතු මැණික් ගල් 6 සතු කර ගනිමින්, විශ්වයේ සමබරතාව පවත්වා ගෙන යෑමට අවශ්‍ය බව පෙන්වා දී, සියලුම ජීවීන්ගෙන් 50 ට 50 ක් අළු කර, විනාශ කර, මකා දැමීමෙන් පසුවය.

ඇවෙන්ජර්ස් කණ්ඩායමේ පුරෝගාමී සාමාජිකයන් ටෝනි ස්ටාර්ක් හෙවත් අයන් මෑන්, ස්ටීව් රොජර්ස් හෙවත් කැප්ටන් ඇමෙරිකා, නටාෂා රොමනෝෆ් ​හෙවත් බ්ලැක් විඩෝ, බෲස් බැනර්/හල්ක්,  ගුගුරු දෙවියා තෝර්,  ක්ලින්ට් බර්ටන් හෙවත් හෝක් අයි ඉතිරි වූහ.

ඊට අමතරව, අලුතින් මාවල් සිනමා සුපිරි වීරයන් අතරට එක් වුණු ‘ගාඩියන්ස් ඔෆ් ද ගැලෙක්සි’ කණ්ඩායමේ රොකට් රැකූන්,  තේනෝස්ගේ දියණිය නෙබියුලා, ටෝනි ස්ටාර්ක්ගේ මිතුරා ජේම්ස් රෝඩ්ස් (රෝඩී) හෙවත් වෝ මැෂීන්, බ්ලැක් පැන්තර් වික්‍රමයෙන් හමුවුණු ඔකෝයේ සහ ම්’බකු පමණක් නොව, ඈන්ට් මෑන් හෙවත් ස්කොට් ලෑන්ග් ද පසුගිය මැයි 8 වැනිදා තිරගත වුණු කැප්ටන් මාවල් චිත්‍රපටයේ සුපිරි වීරවරිය කැරොල් ඩැන්වර්ස් හෙවත් කැප්ටන් මාවල් ද සිටිති.

බ්ලැක් පැන්තර් වික්‍රමයට සම්බන්ධ ඔකෝයේ සහ ම්’බකු දෙදෙනා හැර සෙසු සැවොම, ‘ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම්’ චිත්‍රපටයට සම්බන්ධ බව පූර්ව ප්‍රචාරක පට අනුව පෙනී යයි. ඈන්ට් මෑන්, අළු වී නොගොස් බේ​රෙන්නේ, ඒ වනවිට ඔහු ‘ක්වන්ටම් රෙල්ම්’ නමින් දෙලොවක් අතර ලොවක, එසේත් නැතිනම් සමාන්තර තලයක සිටීම නිසාය.

‘ක්වන්ටම් රෙල්ම්’ නමින් හැඳින්වෙන්නේ කාලය නොවෙනස්ව පවතින මෙන්ම කාලය හරහා අනාගතයට, අතීතයට පමණක් නොව වෙනස් සමාන්තර තලවලට යා හැකි තැනක් යැයි ඈන්ට් මෑන් චිත්‍රපට දෙක අපට පෙන්වා දී ඇත.

එය එසේ නම් ඈන්ට්මෑන්​ ද හවුල් කර ගනිමින් ඉතිරි ඇවෙන්ජර්ස් වීරයන් කාලය හරහා අතීතයට ගොස් තේනෝස් නවත්වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.

මේ අදහස යම්තාක් දුරක​ට තහවුරු කිරීමට, ඊයේ (14) නිකුත් වුණු පූර්ව ප්‍රචාරක පටයට හැකි විය. ඒ,  ඇවෙන්ජර්ස් වීරයන් කණ්ඩායම, ඈන්ට් මෑන්ගේ ඇඳුමට සමාන සුදු පැහැති ඇඳුම් කට්ටවලින් සැරැසී සිටින අයුරු දිස්වීමෙනි. 

පූර්ව ප්‍රචාරක පටයේ ඇති තවත් සුවිශේෂී දෙයක් නම්, තේනෝස් අතින් තුවාල ලබා ‘ටයිටන්’ ග්‍රහලොවේ සිටි ටෝනි ස්ටාර්ක් පමණක් නොව නෙබියුලා ද  පෘථිවියට පැමිණ සිටිනු දකින්න ලැබීමය.

ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම් පළමු ​පූර්ව ප්‍රචාරක පටයෙන් දකින්න ලැබුණේ අයන්මෑන් හෙවත් ටෝනි ස්ටාර්ක් සහ නෙබියුලා අභ්‍යවකාශයේ තනි වී, මරණය පෙනි පෙනී අයුරුය. ඔක්සිජන් සහ ආහාර ඇත්තේ දින කීපයකට පමණක් යැයි ටෝනි, ඔහුගේ පෙම්වතිය පෙපර් පොට්ස් ට පණිවුඩයක් යවමින් කියන දසුන් පෙළක් ද දකින්න ලැබුණි.

පෙපර් පොට්ස්, නව අයන් මෑන් අඳුමකින් සැරැසී අභ්‍යවකාශයට ගොස් ටෝනි බේරා ගන්නවා යැයි කසුකුසුවක් පැවැතිණි. කෙසේ නමුත් කැප්ටන් මාවල් චිත්‍රපටය මේ වනවිට තිරගත වෙමින් පවතින නිසා, ටෝනි සහ නෙබියුලාගේ පිහිටට එන්නේ කැප්ටන් මාවල් විය හැකිය. ඒ, කැප්ටන් මාවල් වසර 20 ක පමණ දීර්ඝ අභ්‍යවකාශ චාරිකාව නිමා කර ආපසු පෘථිවියට පැමිණෙද්දීය.

ප්‍රසිද්ධියට පත් කළ ‘ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම්’ පූර්ව ප්‍රචාරක පට අනුව,​ තෝර් සිටින්නේ පසුතැවීමෙනි. ඒ, තේනෝස් මරා දැමීමට ඔහුට නොහැකි වූ නිසාය.

තෝර් සහ කැප්ටන් මාවල් දෙදෙනා එකිනෙකා මුණු ගැසෙද්දී, ‘මම මැයට කැමතියි’ යැයි තෝර් කියයි. ඇවෙන්ජර්ස් කණ්ඩායමේ දැන් සිටින බලගතුම වීරයන් දෙදෙනා වන්නේ තෝර් සහ කැප්ටන් මාවල්ය.

පසුගිය වසරේ තිරගත වුණු ‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිට් වෝර්’ චික්‍රපටයේ සිදුවුණු සිදුවීම් යළි නිවැරදි වන්නේ කෙසේද ? අළු වී ගිය වීරයන්ට යළි පණ ලැබේවිද ? ඇවෙන්ජර්ස් සෙසු වීරයන් කාලය හරහා අතීතයට ගොස් ඉන්ෆිනිටි මැණික් ගල් තේනෝස් අතට පත්වීම වළක්වයිද ?

ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවට පාදක වූයේ මීට වසර 10 කට පෙර අයන් මෑන් චිත්‍රපටයෙනි. සියල්ල ඇරැඹුණේ අයන් මෑන්ගෙනි. එසේ නම්, ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම් චිත්‍රපටය අවසන් වන්නේ අයන් මෑන්ගේ හෝ කැප්ටන් ඇමෙරිකාගේ මරණයෙන්ද ?

මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු පමණක් නොව, සියලු අනුමානයන්ට පිළිතුරු දැන ගැනීමට තව ඉතිරි වී ඇත්තේ සති 7 කි. රූසෝ සොහොයුරන්ගේ අධ්‍යක්ෂණයක් වන ‘ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම්’ අප්‍රේල් 26 වැනිදා සිට තිරගත වනු ඇති බවත් එය ආදායම් වාර්තා පිහිටුවනු ඇති බවත් නිසැකය.

ලුසිත ජයමාන්න


RECOMMEND POSTS