අලුත් බැට්මෑන්ටත් කොරෝනා



මීළඟ බැට්මෑන් චිත්‍රපටයේ ‘බැට්මෑන්’ගේ චරිතයට පණ පොවන රොබට් පැටින්සන් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

34 හැවිරිදි පැටින්සන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පැවැසෙන්නේ, ලන්ඩන් නුවර ‘බැට්මෑන්’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වෙමින් සිටිද්දී යැයි ද පැවැසෙයි.

පැටින්සන්, කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ චිත්‍රපටයේ රූගත කිරීම් නවතා දැමුණි. කොරෝනා වයිරසය හේතුවෙන් බැට්මෑන් චිත්‍රපටයේ රූගත කිරීම් තාවකාලිකව නවතා දැමුණු දෙවැනි අවස්ථාව මෙයයි. ‘බැට්මෑන්’ චිත්‍රපටය එළිදැක්වීමට නියමිත ලබන 2021 දීය.

රූගත කිරීම් ප්‍රමාද වන බැවින්, චිත්‍රපටය එළිදැක්වීමේ දිනය ප්‍රමාද කිරීමට චිත්‍රපටය නිෂ්පාදනය කරන ‘වෝනර්’ සමාගම පවසා ඇත. චිත්‍රපටය පළමුවෙන් එළිදැක්වීමට නියමිත වූයේ 2021 ජූනි මාසයේය. ඉන්පසු එය 2021 ඔක්තෝබරය තෙක් කල් දැමුණි.

රූගත කිරීම් තවත් ප්‍රමාද වුවහොත්, චිත්‍රපටය 2022 වසර තෙක් කල් යෑමට ඉඩ ඇතැයි පැවැසෙයි.

රූගත කිරීමේ කටයුතු සිදුවෙමින් පවතිද්දී, චිත්‍රපටයේ අධ්‍යක්ෂ මැට් රීව්ස් පසුගිය දා චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වූ අතර, ඊට ඉහළ ප්‍රතිචාර හිමිවිය.

පැටින්සන්, බැට්බෑන් චරිතයට නොගැලපෙන බව කී බොහෝ දෙනා, එම පූර්ව ප්‍රචාරක පටයේ පැටින්සන්ගේ අපූරු මෙන්ම සුවිශේෂී රංගනය දැකීමෙන් ප්‍රසාදයට පත් වුණු බව හොලිවුඞ් පුවත් සේවා ඔස්සේ දකින්න ලැබුණි.

ලොස් ඇන්ජලීස් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS