අඩු මිලට පරීක්ෂණ කට්ටලයක් හැදූ වයිරසවේදිනිය



සමාජීය සහ ආර්ථිකමය වශයෙන් ‘කෝවිඞ් 19’ වයිරස වසංගතය ඉන්දියාවට කළ බලපෑම සුළුපටු නොවෙයි. ඉන්දියාවේ ‘කෝවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව දහස පසු කරනු ඇත. මරණ සංඛ්‍යාව 30 කට වැඩිය.

වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දින 21 ක් ඉන්දියාව ‘ලොක්ඩවුන්’ කිරීමට එසේත් නැතිනම් සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කර ඇත.

ඉන්දියාවේ දුම්රිය ගමන් නවතා දැමුණි. ඉන්දියාව ලොක් ඩවුන් කිරීමත් සමඟ ඉන්දියානුවෝ ලක්ෂ ගණන් මහත් සේ පීඩාවට පත්වූහ. කිසිවක් කර කියා ගැනීමට නොහැකිව ඔවුහු අසරණ වූහ. රට ලොක්ඩවුන් කළේ වයිරස ව්‍යාප්තිය වැළැක්වීමට බවත්, සිදුවන පහසුතාව සම්බන්ධයෙන් තමන් සමාව අයැද සිටින බවත් අග්‍රාමාත්‍ය මෝදි ජාතිය අමතමින් පැවැසුවේය.

‘කෝවිඞ් 19’ වයිරසය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් ව්‍යාප්තවීම ඇරැඹුණේ පසුගිය දෙසැම්බරයේය. ඉන්දියාවෙන් පළමු කොරෝනා ආසාදිතයා හමුවූයේ පසුගිය ජනාවාරි 29 වැනිදාය. එම අවස්ථාවේදී, කෝවිඞ් ආසාදිතයන් හඳුනා ගැනීමට සිදු කරන රසායනාගාර පර්යේෂණ කට්ටල ජර්මනියෙන් මිලදී ගැනීමට ඉන්දීය රජය පියවර ගත්තේය. එසේ ගෙන්වන එක් පර්යේෂණ කට්ටලයක මිල ඉන්දියානු රුපියල් 4,500 ක් යැයි පැවැසිණි.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ නුවර පිහිටි ‘මයිලැබ්’ වෛද්‍ය පර්යේෂණායතනයේ ප්‍රධාන වෛරසවේදිනිය මිනාල් බක්හෑව් බෝස්ලේය.

ඉන්දියානුවන් වෙනුවෙන් මිලෙන් අඩු, රසායනාගාර පර්යේෂණ කට්ටලයක් නිපදවීමට මිනාල් අත ගැසුවේ පෙබරවාරි මුල සතියේය. ගැටලුවක් තිබුණි. ඒ, මිනාල් දරු ප්‍රසූතියට සූදානමින් සිටීමය. වෛද්‍යවරුන් දින නියම කර තිබුණේ පෙබරවාරි දෙවැනි සතියේ දරු ප්‍රසූතිය සිදුවනු ඇති බවටය.

කෙසේ නමුත්, ‘මයිලැබ්’ රසායනාගාරයේ සෙසු පර්යේෂකයන් ද හවුල් කර ගනිමින්, මිනාල් පර්යේෂණ කට්ටලය සකස් කිරීම ඇරැඹුවාය. දිවා රෑ වෙහෙසෙමින්, කායික මෙන්ම මානසික පීඩනයක් යටතේ පසුගිය මාර්තු 18 වැනිදා වනවිට මිලෙන් අඩු එම පර්යේෂණ කට්ටලය සකස් කර අවසන් කිරීමට මිනාල් සමත් වූවාය. එදිනම එය වෛරසවේදය පිළිබඳ ඉන්දීය ජාතික ආයතනයට යොමු කෙරුණු අතර, ඊට අනුමැතිය හිමිවිය. මාර්තු 19 වැනිදා මිනාල් දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කෙරුණු අතර මේ වනවිට ඇය සිඟිති දියණිකගේ මවක බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

මාර්තු 20 වැනිදා වනවිට මිනාල් සකස් කර දුන් පර්යේෂණ කට්ටලයට ඉන්දීය වෛද්‍ය සභාවේ ද අනුමැතිය හිමිවිය. එපමණක් නොව, එය අලෙවි කිරීමට ‘මයිලැබ්’ වෛද්‍ය පර්යේෂණ ආයතනයට අවසරය ද හිමිවිය. විවේකීයව සිටින්නැයි වෛද්‍යවරුන් ලබා දුන් උපදෙස් නොකතා, පර්යේෂණ කට්ටලය සකස් කර දරු ප්‍රසූතියට ගිය වෛරසවේදිනියට බොහෝ දෙනාගෙන් පැසැසුම් ලැබෙමින් පවතී. සමාජ මාධ්‍ය මේ වනවිට ඇය වීරවරියක කර අවසන්ය.

එන්.ඩී.ටීවී ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS