ෆීජී වතුර කෙල්ල නඩු මඟට



ඇමෙරිකාවේ හොලිවුඩයේ පැවැති ගෝල්ඞ්න් ග්ලෝබ් සිනමා සම්මාන උළෙලේදී ඊට පැමිණි නළු නිළියන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ට වතුර ඇල්ලූ සුරූපී නිරූපිකාව නළි නිළියන්ට වඩා කාගේත් අවධානයට ලක් වූවාය.

එම නිරූපිකාව 31 හැවිරිදි කැනඩා ජාතික කෙලී ස්ටයින්ස්බෙච්ය. නළු නිළියන් සිටින හැම ඡායාරූපයකම පාහේ ඇගේ සුන්දර රුව දකින්න ලැබුණේ වතුර බෝතල් සහ වතුර වීදුරු ද සමඟය. ඇය ෆීජී වෝටර් වතුරු බෝතල් සමාගම වෙනුවෙන් එම නිරූපණ කටයුතුවල නියැලී සිටියාය. සමාජ ජාල හරහා කෙලී ස්ටයින්ස්බෙච් ප්‍රසිද්ධියට පත් වූයේ ෆීජී වතුර කෙල්ල කියාය.

ගෝල්ඞ්න් ග්ලෝබ් සම්මාන උළෙලේදී ලැබුණු ජනප්‍රියතාව හේතුවෙන් ෆීජී වතුර බෝතල් නිෂ්පාදන සමාගම ඇගේ රුව ඇතුළත් ඡායාරූප ඔවුන්ගේ වෙළෙඳ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගෙන ඇත.

තමාට නොදන්වා තමාගේ අවසරවක් නැතිව තම රුව යොදා ගත්තේ යැයි චෝදනා නගමින් කෙලී ස්ටයින්ස්බෙච් ෆීජී, ෆීජී වතුර බෝතල් නිෂ්පාදනය කරන වොන්ඩර්ෆුල් සමාගමට එරෙහිව නඩු මඟට පිවිස සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මේ අතර, වොන්ඩර්ෆුල් සමාගම පවසා ඇත්තේ තමන් කෙලී ස්ටයින්ස්බෙච්ට ඇමෙරිකන් ඩොලර් 90,000 ක මුදලක් ලබා දී ඇති බවත්, වසරක් යනතුරු ඇගේ ඡායාරූප තම ප්‍රචාරණ කටයුතුවලට යොදා ගැනීමට කැමැත්ත ලබා ගෙන ඇති බවත්ය. කෙලී ස්ටයින්ස්බෙච් මුදලට කෑදර තැනැත්තියක හෙයින් තමන්ට බොරු චෝදනා නගනවා යැයි ද වොන්ඩර්ෆුල් සමාගම වැඩිදුරටත් පවසා ඇත.

(බී.බී.සී.)


RECOMMEND POSTS