සනී ලියොන්ට ගෞරව සම්මාන



සනී ලියොන් අද බොලිවුඩයේ සිටින වැඩි ම මුදලක් උපයන නිළියන්ගෙන් කෙනෙකි. සනී ලියොන් රංගනයෙන් එක් වුණු චිත්‍රපට රැසකි. ප්‍රධාන නිළියක ලෙසත්, චිත්‍රපටවල ගීත හැඬ ගැන්වීමටත් සනී ලියොන් සිය රංගන දායකත්වය ලබා දී ඇත.

සරාගී නිළියක ලෙස බොලිවුඩයට එක්වුණු සනී ලියොන් අද චිත්‍රපට නිෂ්පාදනයට යොමු වී සිටින්නීය. ඒ, ඇගේ සැමියා ඩැනියෙල් ද හවුල් කර ගනිමිනි.

බොලිවුඩයේ සාර්ථකත්වයත් සමඟ සනී ලියොන්, ‘ස්ටාර්ස්ට්‍රක්’ නමින් සුවඳ විලවුන් නිෂ්පාදන සමාගමක් ආරම්භ කර ඇත. මෙම සුවඳ විලවුන් එක රැයින් බටහිර රටවලත් ආසියානු රටවලත් ජනප්‍රිය විය. පසුගිය දා තායිලන්තයේ පැවැත් වුණු 13 වැනි ආසියානු ව්‍යාපාරික සමුළුවට සනී ලියොන්ට ඇරැයුමක් ලැබුණි. එය ඊට සහභාගී වූයේ සැමියා සහ දරු තිදෙනා ද සමඟය. එහිදී ඇය, සම්මාන තුනකින් පිදුම් ලැබුවාය.

සනී ලියොන්ට එක් සම්මානයක් හිමිවූයේ, ‘ස්ටාර්ස්ට්‍රක්’ සුවඳ විලවුන් නිෂ්පාදන වෙනුවෙනි. අනෙක් සම්මාන දෙක හිමිවූයේ අවුරුදු 40 ට අඩු  හොඳම ව්‍යාපාරික කාන්තාව ලෙස සහ  ආසියානු කලාපයේ කාන්තා සවි බල ගැන්වීම වෙනුවෙන් ද ඇය කරන මෙහෙවර ඇගයීමට ලක් කරමින්ය.

‘මගේ සුවඳ විලවුන් නිෂ්පාදන හරහා පිළිබිඹු වෙන්නේ මාවයි. මට හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් ධෛර්යවන්තයි. ව්‍යාපාරික කාන්තාවක ලෙස මට ඉදිරියට යන්න හැකිවුණේත්, ශක්තිය ලැබුණේත් ඔවුන් නිසයි. මේ සම්මානයත් සමඟ ‘ස්ටාර්ස්ට්‍රක්’ සුවඳ විලවුන් සඳහා ගෝලීය අවධානය යොමු වේවි යැයි මා විශ්වාස කරනවා’ යැයි සනී ලියොන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවැසුවාය.

දහස් ගණනින් රසික රසිකාවියන්ගෙන් සනී ලියොන්ට දිනපතා සුබ පැතුම් ලැබෙයි. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේය. ‘කාගෙන් ද ඔබට සුබ පතුමක් ලැබිලා නැත්තේ ?. ඔබ සුබ පැතුමක් අපේක්ෂාවෙන් සිටින්නේ කාගෙන්ද ?’ යැයි පසුගිය දා ඉන්දීය මාධ්‍යවේදියකු සනී ලියොන්ගෙන් විමසුවේය. ‘මම කැමතියි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් පණිවුඩයක් ලැබෙනවා නම්. ‘හායි’ කියනවා නම්. මා එතුමාට ලොකු ගෞරවයක් දක්වනවා. එතුමාගේ ජාතික වැඩපිළිවෙළ ගැන මට ලොකු පැහැදීමක් තිබෙනවා.’ යැයි සනී ලියොන් පැවැසුවාය.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS